දක්ෂිණාංශික මතවාදය සවිබල ගැන්වීය හැක්කේ කෙසේ ද?
Posted on January 20th, 2025
මාධ්‍ය නිවේදනය දිනන දකුණ – දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය.
දක්ෂිණාංශික දෘෂ්ටියක් මත විශ්වාසය තබන ලාංකික ජනතාව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්විය යුතු යන මතය වටා දැඩිව පෙළගැසෙමින් සිටින බව ‘දිනන දකුණ සාමූහිකය’ විශ්වාස කරයි. මෙම පක්ෂ දෙකෙහි එක්වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර දක්ෂිණාංශික මතවාදයක් පෙරදැරිව දකුණු කඳවුරේ දේශපාලන ඒකීයභාවයක් ගොඩනැගිය යුතු බව ‘දිනන දකුණ’ සාමුහිකය දැඩිව අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ජනාධිපතිවරණයට පෙර සිටම මෙම මතය පැවතුනද එය යථාර්ථයක් කර ගැනීමට කිසිවෙකු කටයුතු නොකළ නමුත් දේශපාලන පරාජයන් හේතුවෙන් මෙම ඉල්ලීම මඟහැර නොයායුතු සාධකයක් ලෙස සමාජය තුළින් මතුවෙමින් පවතී. මෙම ප්‍රවණතාවය එජාප සහ සජබ නායකත්ව මට්ටමින් ද අවධානයට ලක්ව ඇති බව ඔවුන් විසින් නිකුත් කරන ප්‍රකාශ තුලින් ද ගම්‍ය වන්නකි.
‘දිනන දකුණ’ සාමූහිකය මෙම යහපත් ප්‍රවණතාවයට අප සුභ පැතුම් පිරිනමන අතර එය වඩාත් ඵලදායී කර ගැනීම සඳහා මෙම නිවේදනය නිකුත් කර සිටියි. මෙහිදී අප අවධාරණය කරන්නේ ගොඩනැගෙන ඕනෑම දේශපාලන එකමුතුවක් බලය සඳහා පමණක් නොව, දක්ෂිණාංශික දෘෂ්ටිමය එකමුතුවක් ලෙසද ගොඩනැගිය යුතු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා මෑතකදී ප්‍රකාශ කළේ දක්ෂිණාංශික පක්ෂ අතර එකමුතුවක් සඳහා සාකච්ඡා ආරම්භ වී ඇති බවයි. මෙම ප්‍රකාශය ‘දිනන දකුණ’ සාමූහිකයේ මතය තවදුරටත් තහවුරු කරන බව අපගේ විශ්වාසයයි. එවැනි පසුබිමක, ‘දිනන දකුණ’ සාමූහිකය එජාප සහ සජබ නායකත්වයෙන් ඉල්ලා සිටින්නේ බලය මෙන්ම දෘෂ්ටිවාදය ද අවධාරණය කරමින් රටේ යහපත සඳහා ප්‍රායෝගික දේශපාලන වේදිකාවක් ගොඩනැගීමට කටයුතු කරන ලෙසයි.
රරට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමේ ක්‍රියාවලිය තුල ඒ සදහා මුලික පදනම සැපයුවේ දක්ෂිණාංශික දෘෂ්ටිය බව වත්මන් රජය ද එය පිළිගෙන තිබේ. එලෙස ගොඩනැගුණු යථාර්ථය දේශපාලන බලයක් නැවත ගොඩනැංවීම දක්වාම ඉදිරියට ගෙන යා යුතු බව අපගේ විශ්වාසයයි.
දේශපාලන බලය යනු මෙහෙයවිය යුතු වාහනයක් වන අතර එය සාර්ථකව ගමනාන්තය කරා ගෙන යා හැක්කේ නිවැරදි දෟෂ්ඨියක් මත ගොඩනංවන මාර්ග සිතියමක් මත පදනම්ව බව ‘දිනන දකුණ’ සාමූහිකය ලෙස තවදුරටත් අවධාරණය කල යුත්තකි.
බංකොලොත් භාවයෙන් පසු ශ්‍රී ලංකාව දුගී බවින් මිදී කාර්යක්ෂම සහ ස්ථාවර රටක් බවට පත්වීමේ ආරම්භක පියවර මේ වන විට තබා තිබේ. කෙසේනමුත් ඉදිරි ගමන දුෂ්කර වුවත් එය ජය ගත හැක්කේ ධනය උත්පාදනය කිරීම සහ බෙදා හැරීම පිළිබඳ නිවැරදි අවබෝධයක් තුළින් පමණක් බව ‘දිනන දකුණ’ සාමූහිකය දැඩිව විශ්වාස කරන කරුණකි.
මෙම ලිපිය තුළින් අප අවධාරණය කරන්නේ ධනය උත්පාදනය හා එහි ප්රජාතන්ත්රීයකරණය ගොඩනැගෙන්නේ හුදු සටන් පාඨ මත නොව යම් දෟෂ්ඨියක් මත ගොඩනැගෙන බුද්ධිමය සංස්කෟතියක් මත බවයි. එමනිසා, දකුණේ දේශපාලන දෘෂ්ටියක් සැබෑ ලෙස ගොඩනැගීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ නායකයින් පළමුව එවැනි බුද්ධිමය සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව අපි යෝජනා කරමු.
එවැනි දකුණේ බුද්ධිමය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා අප සාමූහිකය විසින් අවධාරණය කරනු ලබන පහත සඳහන් බුද්ධිමය නිර්ණායක 10 සැලකිල්ලට ගෙන අනාගත සාකච්ඡා සඳහා උපයෝගී කරගන්නේ නම්, එය අප බෙහෙවින් සතුටට කරුණක් වනු ඇත.
එසේම, එම බුද්ධිමය නිර්ණායක මත හෝ වෙනත් අයුරකින් දැනටමත් ප්‍රායෝගික අවශ්‍යතා මත පැන නැගී ඇති ප්‍රතිපත්තිමය ප්‍රවිෂ්ට 10 ක් පිළිගෙන ශක්තිමත් කොට ඉදිරියට ගෙන යාමේ අනිවාර්ය අවශ්‍යතාව ද මෙම පක්ෂ දෙකේ අවධානයට මෙලෙස යොමු කරමු.
අප පෙනී සිටින බුද්ධිමය නිර්ණායක 10 නම්;
- ධනය උත්පාදනය කිරීමේ ප්‍රාථමික මෙවලම ලෙස නිදහස් වෙළඳපොළ ආර්ථිකය පිළිගැනීම,
- ධනය උත්පාදනය කිරීමේදී පුද්ගලයාගේ අභිලාෂයන් ප්‍රාථමික බව පිළිගැනීම (axiom of human action),
- ලිබරල් ආර්ථික නිර්ණායක අනුව ධනය උත්පාදනය මූලික කොටගෙන ගොඩනැගෙන ආර්ථික වර්ධනය (growth) ඉහළ දැමීම සංවර්ධන මූලෝපාය කොට ගනිමින් ආර්ථික වර්ධනයේ ප්‍රතිඵල සෑම පුද්ගලයෙකුටම එක ලෙස බෙදී යාමට ඇති අයිතිය පිළිගැනීම,
- නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ පැවැත්ම හා රාජ්‍යයේ පැවැත්ම එක ලෙස පිළිගනිමින් නිදහස් වෙළඳපොළ හරහා ආර්ථික වර්ධනයට සම්පත් කාර්යක්ෂමව ආයෝජනය කිරීමට හැකි වන බව පිළිගැනීම,
- බලපත්‍ර නිකුත් කිරීම ප්‍රධාන කොටගෙන සිදුකරන රාජ්‍ය පාලනය අවසන් කිරීම,
- රටේ ආර්ථිකය විශ්ලේෂණය කිරීම සඳහා දත්ත මත පදනම් වූ විද්‍යාත්මක ප්‍රවේශයක පැවැත්ම (data driven-scientific view) අවධාරණය කිරීම,
- සමාජය මූලික කොටගෙන පුද්ගලයාගේ ස්වාධීනත්වයට ඇති අයිතිය පිළිගනිමින්, ප්රජාතන්ත්රවාදී දේශපාලනයේ මූලික අංග ලෙස සමානාත්මතාවය හා මහජන ස්වාධිපත්‍යය තහවුරු කිරීම,
- පුරවැසියාට සදාචාරාත්මක සමානාත්මතාවයට ඇති අයිතිය පිළිගැනීම,
- ප්රජාතන්ත්රවාදී ලෙස ධනවාදය කළමනාකරණය කිරීම සඳහා ආයතන පද්ධතියක් ගොඩනැගීම ආරම්භ කිරීම,
- පුරවැසියා සතු පුද්ගලික වගකීම යන්න නොසලකා නොහරිමින් (personal responsibility) ලිබරල් සුබසාධන ක්රමයක පැවැත්ම පිළිගැනීම.
බංකොලොත් භාවයට රට පත්වීම හේතු කොටගෙන ශ්‍රී ලාංකික ජනතාවගේ රාජ්‍යයේ පදනම අභියෝගයට ලක් විය. එම අගාධයෙන් මිදීමට මේ දක්වා ශ්‍රී ලංකා රජය විසින් අනුගමනය කරන ලද සාර්ව ආර්ථික මැදිහත්වීම් රටක් වශයෙන් අප අත් නොහළ යුතු ස්ථාවරයන් ලෙස සලකා එම ස්ථාවරයන් අනාගත එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ දේශපාලන බැඳීමකදී ප්‍රතික්ෂේප කළ නොහැකි පදනම් ලෙස සැලකිය යුතු බව අප සාමූහිකය අවධාරණය කරයි.
මෙම ප්‍රායෝගික ප්‍රතිපත්තිමය යථාර්ථයන් පදනම් කරගත් ප්රවිශ්ඨ 10 වන්නේ;
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් ණය ස්ථිරසාර විශ්ලේෂණය (Debt sustainability Analysis) පිළිගැනීම,
- 2035 වන විට රාජ්‍ය ණය ප්‍රතිශතය දළ ජාතික නිෂ්පාදිතයෙන් 128% සිට 95% දක්වා පහළ දැමීමට කටයුතු කළ යුතු බව පිළිගැනීම,
- 2027-2032 කාල වකවානුව වන විට රාජ්‍යයේ දළ මූල්‍ය අවශ්‍යතාවය (gross financial need) දළ ජාතික නිෂ්පාදිතයෙන් 34.6% සිට 13% දක්වා පහළ දැමීමට අවශ්‍ය බව පිළිගැනීම,
- රාජ්‍ය වියදම පහළ දැමීමටත් රාජ්‍ය ආදායම ඉහළ දැමීම සඳහා සක්‍රීයව මැදිහත් විය යුතු බවත් ඒ සඳහා වන අවශ්‍යතාවය පිළිබඳව පුරවැසියා දැනුවත් කිරීමේ වැදගත්කම පිළිගැනීම,
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කළ Governance Diagnostic Report හි නිර්දේශ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව පිළිගැනීම,
- එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල හඳුන්වාදුන් Report on Understanding multidimensional vulnerabilities: impact on people of Sri Lanka දැක්වෙන නිර්දේශ සැලකිල්ලට ගනිමින් ආර්ථික අවපාතයට හසුවූ ජනතාව ආර්ථිකමය හා සමාජීයව බලසහිත කිරීමේ අවශ්‍යතාව පිළිගැනීම,
- Economic Transformation Act no 45 of 2024 පිළිගැනීම හා එම නීති තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟවීම,
- Public Debt Management Act no. 33 of 2024 පිළිගැනීම හා එම නීති තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟවීම,
- Public Financial Management Act no. 44 of 2024 පිළිගැනීම හා එම නීති තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟවීම
- Anti Corruption Act no 09 of 2024 පිළිගැනීම හා එම නීති තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟවීම.
‘දිනන දකුණ’ සාමූහිකයේ අප විසින් ආරම්භ කරන ලද මධ්‍යස්ථ මට්ටමේ දක්ෂිණාංශික දේශපාලන ප්‍රවණතාවය, රටේ දේශපාලන ක්ෂේත්රය තුළ නව ප්‍රවණතාවක් ඇති කිරීමටත්, දේශපාලන සංවාදයට නව මානයක් එක් කිරීමටත් කටයුතු කරමින් තිබේ. මෙම ප්‍රවණතාවය ගොඩනැගීම තුළින් අප අපේක්ෂා කරන්නේ, ඉදිරියේදී ඇතිවිය හැකි දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ගැනීමයි. ඒ වෙනුවෙන් ඉහත කරුණු දැඩිව අවධාරණය කිරීමට අප කැමැත්තෙමු.
ස්තුතියි!
දිනන දකුණ – දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය.