ආණ්ඩුව බලයට පත්වූ දා සිට ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ රැස්වී නෑ — වී/සහල් අවුල උග්‍ර වන්නේ ඇයි?
Posted on January 29th, 2025
රජිත් කීර්ති තෙන්නකෝන්
කොළඹ ‘කැකුළු බත් පිඟානක්’ විකුණන බත් කඩයක් නැත. රට පුරා ‘මාතර බත් කඩ’ වල ද කැකුළු බත් නැත. කිසිදු ප්‍රධාන නඟරයක පාලන මිලට හාල් විකුණන්නේ නැත. අද ලංකාවේ ලොකුම ප්රශ්නය හාල් සහ පොල් ය.
ආණ්ඩුව වී/සහල් කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන් 16 දෙනා එකම රැස්වීම් මේසයකට ගෙනත් නිශ්චිත මාර්ග සිතියමක් සාදා ගන්නේ නැතිනම්, ඉදිරි අවුරුද්දම ලංකාවේ හැමදාම කතා කරන්නට වන ප්රශ්නය බවට හාල් පත් වනු ඇත.
රටට හාල් ගෙන්වීමේ දී නිෂ්පාදිත රට, වර්ගය, මිලදී ගන්නා මිල, නිෂ්පාදන වර්ෂය මත තීරණය කර ආනයන බද්ද තිරණය කරනු ලබයි. ලංකා ඉතිහාසයේ මුල්ම වරට මේ කිසිවක් නැතිව හාල් මෙ.ටො. 75,000 කට අවසර දී මේ වන විට මෙ.ටො. 140,000 ක් රට තුල ගෙනවිත් ඇත.
ආණ්ඩුව හාල් ආනයනය කළේ රොකට් වේගයෙන් ඉහළ ගිය හාල් මිල පාලනය කරන්නට ය. හාල් මිල පහත වැටුනේ නැත්තේ රු. 65 ක බද්දක් ගසා එමගින් රු. බිලියන 9 ක බදු ආදායමක් රජයට ලබාගෙන, ආනයනයේ වාසිය පාරිභෝගිකයාට නොදුන් නිසාය. අසීමිතව හාල් ආනයනය කර දැන් වෙළඳපොලේ ඇත. මිල අඩු නැත!
කැකුළු වී කිලෝවක් රු. 165- 175 ට අලෙවි වන විට හාල් කිලෝවකට රු. 220 ක උපරිම සිල්ලර මිලක් දමා ප්රශ්නය හොඳටම අවුල් කර ගත්තේය. දැන් කොළඹ හෝ ප්‍රධාන නගර කිසිවක කැකුළු හෝ සුදු හාල් පාලන මිලට නැත. බත් කඩවල කැකුළු බත් ද නැත. පාරිභෝගික අධිකාරිය තැන තැන පැන පැන සිල්ලර කඩ හිමියන්ගේ හාල් අල්ලයි. වෙළඳුන්ට ද, මෝල් හිමියන්ට ද, වී ගබඩා කර තබාගත් ගොවීයාගේ ද සැපයුම් ජාලය අඩපණ ය. අවසන් ප්‍රතිඑලය, රටේ ආහාර සංස්කෘතියේ මුලිකම අංගය පොල් සම්බෝලයක් සමඟ කන්නට බත් ටිකක් නැත.
2024 මාර්තු මස ආණ්ඩුව සංවර්ධන මූල දෙපාර්තමේන්තුව හරහා වී මිලදී ගැනීමට රු. බිලියන 9 ක මුදලක් ලබාදුන්නේය. ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රමය යටතේ වානිජ්‍ය බැංකු හරහා වී මෝල් හිමියන්ට සහ වී එකතු කරන්නන්ට දුන් ණය මුදලෙන්, 95% ක්ම දින 180 ක් තුල පියවා තිබුණි. රටේ භාණ්ඩගාරයට කිසිදු අමතර බරක් නොවීය. රජය වෙවර එම මුදල රු. කෝටි 500 කට හෙවත් බිලියන 5 කට සීමා කර ඇත. මේ වන විට පුද්ගලික වී ගැණුම්කරුවන් විසින් මිලදී ගන්නේ රු. 140 කට ඉහළ මිලකට ය. රු. 130 බැගින් වී මිලදි ගන්නේ නම්, බිලියන 5 කින් මිලදී ගත හැකි වන්නේ වි ටොන් 38,000 කි.
රටේ ගොවියාගේ ද, පාරිභෝගිකයාගේ ද ප්රශ්නය විසඳුණි. හාල් කිලෝ 20 බැගින් පවුල් ලක්ෂ 27 ක කන්නට දෙන්නට ද රජයට හැකි විය. එදා (2024 පෙබරවාරි දෙවැනි සතියේ) නාමල් කරුණාරත්න කිව්වේ නිෂ්පාදන වී නිෂ්පාදන විදයම රු. 154 ක් කියාය. (හාල් නිකං බෙදද්දී, නාමල් ලා එදා එය වලක්වන්නට හැදුවේ එහෙමය) අද නාමල් කියන්නේ, ගොවියාට පාඩු වන නිසා රජය වී සඳහා සහතික මිලක් නියම නොකරන බවයි.
නාමල් කරුණාරත්න ඇමතිවරයා ප්‍රකාශ කරන අන්දමට (රු. 140ට) වී කිලෝ මෙ.ටො. ලක්ෂ 3 ක් මිල දී ගැනීම අවම වශයෙන් රු. බිලියන 39 – 40 ක් අවශ්‍යය.
හාල් සහ වී මිල පාලනය සම්බන්ධයෙන් රාජ්‍යය සතු නියාමන බලය පවතින්නේ කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ වෙත ය. වත්මන් රජය ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ අද දක්වාම රැස් කළේ නැත. එහි සිටි රාජ්‍ය නිලධාරීන් නොවන පිරිස ඉවත් කළ අතර, ඒ වෙනුවට වෙනත් ප්රවීනයින් පත් කළේ ද නැත. (ජවිපෙ සතුව ඔ්නෑ තරම් මේ විෂය දැනුම සහිත පිරිස් ඇතැයි මම සිතමි) හාල්/වී තීරණ ගත්තේ රූපවාහිනී කැමරා ඉදිරිපිට දී, කිසිදු සාමූහික විශ්ලේෂණයකින් තොරවය. අද එහි ප්‍රතිඑල රටක් ලෙස අත්විදිමින් සිටී.
නැගෙනහිර ‘මහසෙන්’ නමින් හැදින්වෙන් වෙන සුදු හාල් වර්ගයේ ගොයම් කැපීම ඇරඹී ඇත. හාල් ඇටය කැඩී යන නමුත් එය රසවත් සුදු හාල් වර්ගයකි. මේ වී ගබඩා කළ හැක්කේ මනා ලෙස වියලා ගත් පසුව (ඩ්‍රයර් මගින් ) තෙතමනය හා උෂ්ණත්වය පාලනය කළ සුදු යකඩ/ලෝහ බොයිලේරු තුලය. නැතිනම්, මාස 4 කින් එය සත්ව ආහාරය හෝ බියර් නිෂ්පාදනයට ගන්නා තත්වයට නාස්ති වී යයි.
ගංවතුර හේතුවෙන් අවස්ථා තුනක දී වී වගාවට මෙවර බලපෑම් එල්ල විය. වී ගහේම පැලවෙමින් ඇත. අස්වනු හානිය ගැන කිසිදු දත්තයක් නැත. ඇමතිවරු කියන්නේ වී අලෙවි මණ්ඩලයේ ‘මී ගුල් ගබඩාවල’ රජයේ මුදලින් වී මිලදී ගෙන ගබඩා කරන බව කි. රටේ සීමිත අස්වැන්න ‘මී ගුල්වලට හලන්නට’ මහා භාණ්ඩාගාරයේ මුදල් වැය ක යුතු නැත!
ලංකාවේ විගණන මතයක් ඉදිරිපත් කිරීමට හෝ නොහැකි මට්ටමේ අකාර්යක්ෂම, විධිමත් විගණන ක්‍රියාවලියක් හෝ නොමැති, ‘වී අලෙවි මණ්ඩලයට’ රු. බිලියන 39ක් නිදහස් කරන්නේ නම්, එය නිදහසින් පසු කෘෂිකර්මාන්තයට අදාළ දැවැන්තම මුදල් නාස්තිය බවට පත් වනු ඇත.
වී/සහල් ප්‍රශ්න ආණ්ඩුව විසින් අවුල් ජාලාවක් බවට පත් කර ගන්නා තෙක් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට සහල් ලැබුණි. ගොවියාගේ වී ටිකට, නිෂ්පාදන පිරිවැයට (බුලත්විටේ ගානත් ඇතුළුව) ගැලපෙන මිලක් ලැබුණි. කිසිදු විද්‍යාත්මක ගණනයකින් තොරව මිල පාලනයක් පැනවීම, ආනයනය කිරීම, බදු ගැසීම නිසා සැපයුම් ජාලය මුළුමනින්ම අවුල් ජාලයක් බවට පත් වූවේය.
මෙවර ගොවියාට ගොයමට පොහොර යෙදිය යුතු කාලයේ පොහොර සහනාධාරය ලැබුණේ නැත. වෙනදා දියව්! දියව්!! අපේ අස්වැන්නට සාධාරණ මිලක් දියව්!!! කියන්නට නාමල් කරුණාරත්න සිටියේය. දැන් ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත සමඟ එක්ව ප්රවෘත්ති සාකච්ඡාවක දී කියන්නේ ‘ඒ සටන් පාඨයට ඉඩ දෙන්න බෑ!’ කියාය. මේ අර්බුදය මතුවී ඇත්තේම, එක මේසයක සිට ‘ආහාර ප්‍රතිපත්ති තීරණ’ නොගැනීම නිසාය.
දැන් නැගෙනහිර ගොයම් කපන බැවින් ද, ගබඩාවල ඇති අස්වැන්න වෙළඳපොලට නිකුත් කර ඇති බැවින් ද, හාල් මිල පහත වැටෙනු ඇත. පොහොර සහනාධාරවත් ප්‍රමාද වූ හෝ නොලැබුණු නිසා හෝ අස්වැන්න අඩු වී ඇති රහසක් නොවේ. නමුත්, පවතින තත්වය සමීපව ප්‍රතිකර්මයක් සිදු නොකරන්නේ නම්, ගොවියාගේ වී නිෂ්පාදනයට සාධාරණ මිලක් නැති වනු ඇත. සැපයුම් ජාලයේ සෑම පුරුකකම සිටින වී ගැණුම්කරුවන්, මෝල් හිමියන්, සත්ව ආහාර නිෂ්පාදකයින්, ලොකු කුඩා අලෙවිකරුවන්, ප්රවාහකයින් අමාරුවේ වැටී ඇත. (අද මිල දී ගන්නා හාල් තොගය ප්රවාහණයකට ලොරියක් කුලියට දෙන්නට වාහන හිමියන් කැමති නැත. පාරිභෝගික අධිකාරිය හාල් ටික පොලීසියට හෝ හිතවතෙකුගේ කඩයට බාන නිසාය.
රු. 140 ඉක්මව මිලකට වී මිලදී ගන්නේ නම්, බැංකු පොලිය ගෙවා මාස 4 ක් වත් වී වෙළා ගබඩා කර, වී කොට වෙළඳපලට නිකුත් කරන විට හාල් කිලෝවක් රු. 300 ඉක්මවිය යුතුය. ආණ්ඩුව නැවත වරක් බදු සහිතව හෝ රහිතව හාල් ගෙන්වා නැවත වරක් සැපයුම් ජාලයට දරාගත නොහැකි මට්ටමේ අවුල් ජාලයක් ඇති නොකළ යුත්තේමය. ඒ වෙනුවට, නියමිත දින වකවානු කාල සටහනකට අනුව බදු පැනවීම හා ඉවත් කිරිම තුලින් වෙළඳපොල නිර්ණායක අනුව හාල් මිල පාලනයට ඉඩ දිය යුතුය.
රජය විසින් තම ආධිපත්‍යය පැතිරවීම සඳහාත්, සැපයුම් ජාලයේ පුරුක් වෙත අනවශ්‍ය පීඩනයක් යෙදීම නිසාත් දැරූ උත්සාහය විනාශකාරී ප්‍රතිඑල මේ වන විටත් ගෙන දී ඇත. වලකට වැටී නමුත් පාඩමක් ඉගෙන ගැනීම වැදගත් ය.
රජිත් කීර්ති තෙන්නකෝන්