“අපරාධකරුවන් පැමිණිය හැකි බවට මින් පෙරත් බුද්ධි වාර්තා ලැබුණා” – හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න
Posted on February 20th, 2025
නඩු විභාග පැවැත්වෙන අතරවාරයේ නීතිඥවරුන් ලෙස සැරසී අවි ආයුධ හෝ වෙනත් දෙයක් සහිතව අපරාධකරුවන් අධිකරණ ශාලාවට ඇතුළු විය හැකි බවට මීට පෙර බුද්ධි වාර්තා ලැබී තිබූ බව හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.
එහිදී ඔහු සඳහන් කළේ, 2022 වර්ෂයේදී පාස්කු චූදිතයින් අධිකරණය හමුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී “අදාල නඩු විභාග අවස්ථාවේදී නීතිඥවරුන්ගේ ස්වරූපයෙන් සැරසී අවි ආයුධ හෝ වෙනත් දෙයක් සහිතව යම් පුද්ගලයෙකු අධිකරණයට ඇතුළුවීමේ හැකියාවක් පවතින බැවින්, නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණ ශාලාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනාත්මක තත්ත්වයක් පවතින බව වැඩිදුරටත් පෙන්වා දී ඇත.”යනුවෙන් බුද්ධි අංශ වාර්තාවක සඳහන් කර ඇති බවයි.
ඔවුන් අධිකරණ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ අවස්ථාවේදී එම සිද්ධිය වලක්වාගැනීමට හැකි වූ බවයි ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
ඒ අනුව, බුද්ධි අංශ සඳහා ලැබෙන තොරතුරු ඔස්සේ ඒ සඳහා නිවැරදි පියවර ගැනීමට ආණ්ඩුව වැඩපිළිවෙලක් සකස් කිරීමක් සිදු නොකළහොත් මේ තත්ත්වය තවදුරටත් බරපතළ වන බවයි ඔහු සඳහන් කළේ.