ඖෂධ 170ක් හිගයි.. අදටත් අපි ෆේල්..- රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
Posted on March 14th, 2025

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වර්තමානයේ ඖෂධ 170ක පමණ හිඟයක් පවතින බව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසීය.

ඒ අතර හතිය සහ ඇදුම යන රෝග සඳහා ලබා දිය යුතු ඖෂධයක් මාස 03කට වැඩි කාලයක සිට නොමැති බවත්, මෙම ඖෂධය අවශ්‍ය අවස්ථාවලදී ලබා නොදුන හොත් රෝගීන් මිය යාමටද ඉඩ ඇති බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ ඔහු ප්‍රකාශ කළේය.

මෙම ඖෂධ ගෙන්වීම සඳහා ලියාපදිංචි සමාගම් ඉදිරිපත් නොවීම ගැටලුවක් බවද ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

සාමාන්‍යයෙන් අපේ ඖෂධ වර්ග 862ක් තියෙනවා. මේ 862න් 170ක් පමණ අද වන විටත් හිඟයි. මේකට විවිධ හේතු තියෙනවා.ඖෂධයක් ප්‍රසම්පාදනය කරන්න අපි සාමාන්‍යයෙන් 2026 වර්ෂයට අදාළ ඖෂධ ප්‍රසම්පාදන මේ වසරේ ජනවාරි 31 වෙනකොට දීලා තියෙනවා එස්.පී.සී එකට. ඒ අනුව එස්.පී.සී. එකට වර්ෂයකට ආසන්න කාලයක් තියෙනවා මේ ප්‍රසම්පාදන සිදු කරන්න. ඒත් මේ ප්‍රසම්පාදන කටයුත්තට එස්.ජී.සී එකට ගතවෙනවා මාස 09ක කාලයක්. මම පසුගිය කාලයේදී එස්.පී.සී එකේ ටෙන්ඩර්වලට සහභාගි වෙලා තියෙනවා මෙම්බර් කෙනෙක් විදියට. 2023-24 කාල වකවානුවේදී මම දැකලා තියෙනවා ඒ ටෙන්ඩර් බෝඩ්වලට එක ෆයිල් වලින් 50%ක් විතර කැන්සල් වෙනවා.

අද ගත්තොත් ඖෂධ වර්ග 862වලින් ඖෂධ 37කට එකම ලියාපදිංචි කරුවෙක්වත් නෑ. තව ඖෂධ හැට ගානක් තියෙනවා එක පුද්ගලයෙක් පමණයි ලියාපදිංචි වෙලා ඉන්නේ. මේ අයගෙන් බොහෝ පිරිසක් මේවට ඉදිරිපත් වෙන්නේ නෑ. අපි කොහොම හරි උත්සාහ කරනවා මේ ඖෂධ ගෙන්වලා ලබා දෙන්න. සමහර වෙලාවට ලියාපදිංචි නොවුණු පුද්ගලයන් ඉදිරිපත් වුණාට පස්සේ අපි අයදුම් කරනවා එන්.එම්.ආර්.ඒ එකට ලියාපදිංචිය සඳහා අවස්ථාවක් දීලා හරි අපිට මේ ඖෂධ ගෙන්න කියලා ක්‍රම වේදයක් සකස් කරලා දෙන්න කියලා.

උදාහරණයක් කියන්නම්. මේ වන විට හතිය, ඇදුම හැදුණාම දෙන්න ඕනෑ ඖෂධයක් තියෙනවා. ඒක දුන්නේ නැති වුණොත් රෝගියා මිය යන්නත් පුළුවන්. මාස 03කට අධික කාලයක් වෙනවා. අද වන විටත් ඒක ශ්‍රී ලංකාවේ නෑ. ටෙන්ඩර් 03ක් විතර ඉදිරිපත් කරලා තියෙනවා. කම්පැණි දෙකකට පමණයි ලියාපදිංචිය තියෙන්නේ. ඒ දෙකම ඉදිරිපත් වෙන්නේ නෑ. ඉතින් අපිට ඉතාමත් බරපතළ ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා මේ ඖෂධය ලබා දෙන්න. අදටත් අපි ෆේල්. අපිට ලබා ගන්න ක්‍රමවේදයක් නෑ. මම අන්තිමට ඉල්ලුවා එන්.එම්.ආර් එකෙන්. කවුරුන් හෝ වෙන පුද්ගලයෙකුගෙන් ගන්න සහතිකයක් දෙන්න කියලා. ”

– දිනේෂ් සමරකෝන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress