නීති පොතේ ඇති, එහෙත් රටේ නැති, ආධිපත්‍ය දෙක හා සුප්‍රිම් උසාවිය
Posted on October 4th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D
ලංකාවේ ගොඨාභය භූමිකාව
ලංකාවේ වංක පක්‍ෂ දේශපාලකයින් විසින්, මහජන සර්‌වාධිපත්‍යය හා නීතීයේ ආධිපත්‍යය නමැති මිථ්‍යා දෙකක් මවාගෙන, ඒවාට ඔක්‍ෂිජන් පිඹ දීමේ අසීරු කාරියට සුප්‍රීම් උසාවිය හා ඇපැල් උසාවිය හිරකර ගෙන තිබෙනවා නොවේද කියා මෙම නාඩගම දෙස ඇමෙරිකාවේ සිට බලා සිටිනා මට සිතේ. මෙය ඇන්ග්ලෝ-ඇමෙරිකන් නීති විද්‍යාව මත පදනම්‌වූ ලෝකයට (රුසියාවට හා චීනයට වෙනස්‌ව), තවමත් <සුද්දගෙ නීතිය> රජයන, ලංකාවෙන් එක් කර ඇති සුවිශේෂ සංසිද්‌ධියක් නොහොත් විහිළුවකි. 1987 ජූනි 4 වෙනිදා ඩෙන්සිල් කොබ්බෑකඩුව හා විජය විමලරත්න යටතේ ගෝඨාභය රාජපක්‍ෂද සටන්කල වදමරච්චි ප්‍රහාරය හදිසියේම නතරකිරීමෙන් පසු, 2005 දී ආරක්‍ෂක ලේකම්‌වූ ගොඨාභය රාජපක්‍ෂ විසින්, ප්‍රභාකරන්ගේ මිත්‍රයාවූ නෝර්වේ රටේ එරික් සොල්හයිම්ට අනුව එවකට තිබූ රජයේ ඉහල අන්කිසි නිලධාරියෙකු විසින් නොදැරූ <මේ යුද්‌ධය දිණිය හැකිය> යන මතය ක්‍රියාවට නැංවීමත් සමඟ, 2006 දෙසැම්බර් දී ඔහුව, (ඊට කලින් 2006 අප්‍රේල් දී ඔහු විසින් තෝරාගත් සරත් ෆොන්සේකාව) ඝාතනය කිරීමේ උත්සාහයේ සිට, සිංහල බෙදුම්වාදී දේශපාලකයින් විසින් ක්‍රියාකලේ ගෝඨභය නමැති සාධකය ලංකා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා නීතිය අවභාවිතා කිරීමටය. මෙහිදී ඔවුන් ගොඳුරු කරගත්තේ රටේ ඉහළ උසාවි දෙකය.
හයානක <සිංහල බෞද්‌ධ ඊළම>
20 වන සංශොධනයට විරුද්‌ධව ඉදිරිපත්කර ඇති පෙත්සම් 39, <මේ යුද්‌ධය නම් කවදාවත්ම දිණන්න බෑ> යන පිරිස් විසින් හෙවත් ඔවුන්ගේ අවතාර වන යහපාලන පඬරැල් විසින්, මහජන මතයෙන් බැටකෑම අමතක කර, ඒ වෙනුවට, උසාවිය ප්‍රාණ ඇපකරුවෙක් කරගැනීමේ අළුත්ම උත්සාහය නොවේද කියා විමසීම, උභතෝකෝටික, අන්තෝ ජටා-බහිජටා ප්‍රශ්ණයක් නොවේය යන අදහස මට ඇතිවූයේ මේ වනවිට සජිත් ප්‍රේමදාසගේ ලොකුම න්‍යායාචාරියාව සිටිනා දයාන් ජයතිලක විසින් කලම්බුටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ලියූ මෑතම ලිපියේ (දූපතක් හිරගෙදරක් කිරීම, සැප්. 29), 20 මඟින් ප්‍රභාකරන්ගේ දෙමළ ඊළමටත් වඩා භයානක, සිංහල බෞද්‌ධ ඊළමක් බිහිවෙනවා යනුවෙන් කර ඇති අනාගත වාක්‍යය නිසාය.
මේ යුද්‌ධය නම් කවදාවත් දිණන්න බෑ කියූ පිරිස් 13 වන සංශොධන පාරේ යමින් පෙඩරල් හරහා දැන හෝ නොදැන ද්‍රවිඩ ඊළමක් සදා දීමට සූදානම් පිරිසය. මිය ගිය අනුර, රනිල්, චන්ද්‍රිකා, රෝසි, බුද්‌ධ සාසනය බේරාගන්නට දැන් ඉදිරිපත්‌ව සිටින මංගල හා දෙමළ රටකට ඉඩදිය යුතුය කියන හා ජේවීපී එකට චන්දය දෙන නිර්‌මාල් රංජිත් දේවසිරි යන අය අතරින් දයාන් විශේෂය. ඔහු වර්‌දරාජා පෙරුමාල්ගේ කැබිනට් ඇමතිවරයෙක්ව සිට (1990 දී?) ඉන්‌දියාවට පලාගිය අයෙකි. ඔහු විග්නේෂ්වරන්ගේ උතුරු මහaැමති ලෙස (2013) දිවුරුම්දීමේදී ඉතාමත් ප්‍රසාදයෙන් සහභාගීවූ ආරාධිත අමුත්තෙක් වුයේ, තමන් 13-ඒ ප්ලස් වල නිලනොලත් පියාවූ නිසාය. මාක්ස්වාදීන් ඇසුරු කල මේ විග්නේෂ් <මධ්‍යස්ථ දමිළයෙක්> නිසා, ඔහු, පුදනකොටම කාපි යකෙක් වේයැයි දයාන් බලාපොරොත්තු වුනේ නැත. ඔහු මහaැමතිවී සිංහලයින් දමිළ සංහාරයක් කරණවා යයි දිගින් දිගටම යෝජනා සම්මත කරණ විට ඒ නිසා අන්දමන්දවූ දයාන්, 2015 දී නුගේගොඩ මහින්ද සුළඟට පැටලීමටත්, ඉන් පසු වියත්මඟට රිංගීමටත් සැදුවේය.
19 වන සංශොධනය හා රනිල්
ලංකාවේ සිංහල බෞද්‌ධ පදනම සුන්කල යුතුය යන රෝසි සේනානායක-චන්ද්‍රිකා මතයේම පාවෙමින් සිටි දයාන් නමැති බළලා, දැන්, සිංහල බෞද්‌ධ ඊළම නමැති මල්ලකින් එලියට පැන ඇත. චන්ද්‍රිකාගේ 1994-2000 පැකේජ් ඩීල්, 17 හා 19 සංශොධන, රනිල්-සුමන්තිරන්-ජයම්පතිලාගේ ඔරුමිත්තනාඩු 2018 ව්‍යවස්ථා මගඩිය යන සිදුවීම් දෙස පරීක්‍ෂාවෙන් විමසනවිට පෙනීයන මූලික කාරණා කීපයක් ඇත. තොප්පිගල කියන්නේ කැලයක් යයි කීමේ සිට ඔහුගේ ජාති භ්‍රෂ්ට හැසිරීම නිසා රටේ ජනාධිපතිවීමට සිංහලයින් ඔහුට චන්දය නොදෙන බව රනිල්ට ඒත්තුයෑම නිසා රනිල්ට: (1) චන්ද්‍රිකා වෙනුවට විධායක අගමැති වීමට ඇති ආශාව; (2) ඒ සඳහා දෙමළ බෙදුම්වාදය (හා ශාරියා වාදය) උපයෝගී කරගැනීමට විධායක ජනාධිපතිධූරය පඹයෙක් බවට පත්කිරීමේ උපාය (විලියම් ගොපල්ලව කෙනෙක් කිරීම); හා (3) ඒ සඳහා සුප්‍රිම් උසාවියත්, පාර්ලිමේන්තුවත් රැවටීමට ක්‍රියාකිරීම මේ එකිනෙකට බැඳුණු කරුණුය. 2000 දී චන්ද්‍රිකාගේ පෙඩරල් පැකේජය පාර්ලිමේන්තුවේදී ගිනි තැබීමේ සිට ඇමෙරිකන් උපදෙස් උඩ ක්‍රියාත්මකවූ මේ ප්ලෑනට, 18 වන සංශොධනය (2010 සැප්.) භාධකයක් විය. මේ ප්ලෑන මිස, ව්‍යුහාත්මක (සිරස්-structural) හෝ භූමීය (තිරස්-territorial) ප්‍රජාතන්ත්‍රවාදයක්, නීතීයේ ආධිපත්‍යයක්, මහජන පරමාධිපත්‍යයක් යනාදිය හිස් ප්‍රලාප කතා විය. රනිල්ගේ අලියා පක්‍ෂයේ ව්‍යවස්ථාවම ඊට ශාක්‍ෂියකි.
යහපාලන විකාරය
ජේ. ආර් ගේ [අ]ධර්මිෂ්ට සමාජය මෙන්ම රනිල්ලාගේ ලිච්චවි යහ [යම]පාලන මරාලයද එහි ප්‍රතිවිරුද්‌ධ අර්‌ථයෙන්, සංඥාවෙන්, වටහා ගත යුතුය. ලංකාවේ මිනිසුන්, එපා කියන්නේ කමක් නෑ දෙන්න යන තේරුමෙන් වැනිය; යමෙක් බෑ කියන්නේ, හා කැමතියි කියන අදහසෙන් වැනිය! සුද්දාගේ යටත් විජිතයේ සාමය හා මනා පාලනයට (පීස් ඇන්ඩ් ගුඩ් ගවර්‌නස්), 1818, 1848, 1915 කෲර ක්‍රියාද අයත්‌වූ අකාරයට, 2015-19 යහපාලනයද මහා පරිමාණ ප්‍රෝඩාවක් විය. රට සුනු විසුනු නොවී බේරුණේ යම් අදෘෂ්‍යමාණ බලවේගයක් විසින් රට රකිනා නිසාමය. දැනට පවතින කොමිෂන් සභා දෙකෙන් එලිවන කාරණා අනුව හා හිරගෙවල්, නාකොටික් නිලධාරීන්ගේ දූෂණ වලින් පෙනීයන්නේ, පාස්කු ප්‍රහාරය, කොරෝනාව, යනාදී වෙස්‌වලාගත් භාග්‍යවලින් තහවුරු වන්නේ, යහපාලනකාරයින් 19 වන සංශොධනය හරහා රට මකබෑකර ඇති තරමය. උසාවියේ නඩුකාරවරුද මේ බව දන්නේය.
බල්ලට ගිය රටක්
මුන් 225 ම එපා කීම කොසොල් රජතුමාගේ සීන දාසැය හොඳටම සැබෑවී ඇති බව, රට බල්ලට ගොස් ඇති බව ජනයාට දැනුණ හැටිය. නියෝජිත ප්‍රජාතනත්‍ර[නාස්ලණු]වාදයට අත්‌වූ ඉරණමය. යුරෝපයේ මාක්ස්වාදීන් කැමතිවූ <ෆ්රීඩම් ඊස් ද රෙකොග්නිෂන් ඔෆ් නෙසසිටි> යන හෙගල් ගේ (1820-95) ප්‍රකාශය ජනයාගේ සතුට හා සාමය සඳහා අවශ්‍යවන බව ඔප්පු කිරීමය. 19 අහෝසි කිරීමට තුනෙන් දෙකේ බලයක් ගෝඨාභය ඉල්ලුවේ මේ නිසාය. බුදු දහමේ කියන මාර්‍ගය ගැන පැහැදුන ජීව විද්‍යාඥයෙක්‌වූ ගැරට් හාර්ඩින් විසින්, <ට්‍රැජඩි ඔෆ් ද කොමොන්ස්> යන පැරණි සංකල්පය, පොතක් ලියා 1968 දී ජනප්‍රිය කලේ, දූෂිත දේශපාලකයින්, තම අතට අසුවන, ඇසට ගැසෙන (වැලි පර්මිට් එකේ සිට මහබැංකු මංකොල්ලය දක්‌වා, මනාප බලුපොරයේ සිට පාර්ලිමේන්තුවේ වංක නීතී පාස්කර ගැනීම, කාර් පර්මිට්, විශ්‍රාම වැටුප් දක්වා වන), කී නොකී හැම පොදු (මහජන) සම්පතක්ම, තම කෙටිකාලීන වාසිය සඳහා, පොදු තණබිමට වැඩි වැඩියෙන් හරකුන් දමා දිගුකාලයේදී ඒ සරු තණබිම මුඩුබිමක් කරගෙන වැනසෙන ගොවියාමෙන් තම පුද්ගල/පවුල් වාසිය සඳහා ධනවාදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නම් සූත්‍රයේ නාමයෙන් රටක් කබාසීනියා (අසාර්‌ථක රාජ්‍යයක්) කරණා ආකාරය පැහැදිලි කරදීමටය.
ඥාතීන්ට සුදුහුණු ගෑම නොහොත් සිල් රෙදි ඇන්ඳවීම
අවුරුදු 72 ක් තුල සිදුකරගෙන ගිය මේ විනාශය නතර කිරීමට 2020 දී සිංහල චන්දදායකයා ගොඨාභයට දුන් බලය නතර කිරීමට (හිට්ලර් කෙනෙක් වෙලාහෝ රට බේරාගන්න යන හාමුදුරුවන්ගේ ප්‍රකාශය හෙගල්ගේ තර්‌කය මය), බොරු ප්‍රජාතනත්‍රවාදය නම් පොදු ජනයා විසින් විඳවන දුක, කළුකෝට් 39 කින් වසා, උසාවියේ පංචස්කන්‌ධ පහක් ඊට ගොඳුරු කරගැනීමට දරණ කූඨ ප්‍රයත්නය කුමණ සදාචාරාත්මක අයිතියක්ද? 1962 ක්‍රිස්තියානී හා දමිළ නිලධාරී කුමන්ත්‍රණය, එහි නායක සී. සී. දිසානායකගේ පුතා (රවි කරුණානායකගේ මවගේ සහෝදරයා) හැඳින්‌වූයේ ලෝකයේ ප්‍රථම බෞද්‌ධ කුමණ්ත්‍රනය යනුවෙනි. ඊට හේතුව ලෙස ඔහු දැක්‌වූයේ තම පියා නිලධාරීන්ට දී තිබූ නියෝගය නම් කිසිවෙක් පිස්තෝල රැගෙන නොයායුතුය යන්නය! මේ ගාන්‌ධිලා විසින් හිරේට ගත් බද්දේගම මන්ත්‍රී නීල් ද අල්විස් පිහියක් ගත්තා නම් කරන්නේ කුමක්ද? මීට සමානම දෙයක් <ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා> යන පොතේ කවරයෙන් ජේ. ආර් ගේ මුනුපුරා ඉදිරිපත් කරයි. නඩුකාරයින්ගේ ගෙවල් ඉදිරිපිට පෙලපාලියෑම, මිසිස් බී ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම, ව්‍යවස්ථාව තම වාසියට සංශොධනය කිරීම, සුප්‍රිම් උසාවි නඩුකාරයින්ට ඉල්ලා අස්‌වන ලෙස දන්වා පසුව තමන් ඉදිරියේ දිවුරුම් දීමට සැලැස්වීම, 13 සංශොධනය සඳහා මන්ත්‍රීන්ගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි බලහත්කාරයෙන් ලබා ගැනීම වැනි දේ මේ පොතේ ඇතුලේ තිබේ දැයි මම නොදනිමි. <නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත> යන රීතියට යටත්‌ව, මෙවැනි පුද්ගලික වාසියට කරණ දේ ගෝඨාභය ජනාධිපතිගෙන් සිදුනොවන බව පමණක් මම පුද්ගලිකව දනිමි.
දේශපාලකයින් විසින් නඩුකාරතුමන්ලාගේ ඇස් හා අත් ඇත්තටම බැඳදමා තිබීම
රටේ මහජනයා චන්ද තුනකින්ම (පලාත් පාලන, ජනාධිපති, පාර්ලිමේන්තු) ප්‍රකාශකර ඇත්තේ 19 ය අහෝසිකරණ ලෙස නොවේද? එවැනි, විශේෂයෙන් 2020 මැතිවරණයෙන්, මහජනයා පැහැදිලිවම තම පරමාධිකාරි බලය පාවිච්චි කර ඇති විට, ඊට විරුද්‌ධව තීරණයක් දෙන ලෙස ඉල්ලා 39 දෙනෙක් උසාවිය ඉදිරියට යෑම උසාවියේ නඩුකාර පංචස්කන්‌ධ පහ අමාරුවේ දැමීමක් නොවේද? 19 ට බොරු 33(2)සී වගන්තියක් දමා උසාවිය රැවටුවා පමණක් නොව චන්ද ක්‍රමය වෙනස් කිරිමට 20 සංශොධනයක් ගේනවා කියා සැබෑ විරුද්‌ධ පක්‍ෂයද රැවටුවේය. මේ සියළු ජරමර අස්සේ යම් පණතක් මොන මගඩියකින් හෝ සම්මත කල පසු ඒ පණත් සම්පාදන ක්‍රියාවලිය හාරා බැලීමටත්, යම් අනුමත කල පණතක ව්‍යවස්ථා විරෝධීභාවය විමසීමටත් උසාවියට බලයක් නැති කිරීමෙන් නඩුකාරවරුන් අනාථයින් කර ඇත. රූල් ඔෆ් ලෝ, සෙපරේෂන් ඔෆ් පවර්ස්, පීප්ලස් සවරිනිටි වීරයෝ මේවා දැන සිටියේ නැද්ද? මෙවැනි ඉතිහාසයක් නඩුකාරවරුන්ට අමතක කල හැකිද?
නීති පොත නමැති රේල් පාර
නීතිපතිට අමතරව, ආණ්ඩු පාර්ශ්වයේ මැදිහත්කරුවෙක් වෙනුවෙන් නිතීඥයෙක් කියා සිටියේ, 19 හෝ 13 හෝ සම්මතවූයේ ජනමත විචාරණයකින් තොරව නිසා 19 අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවය. ලංකාවේ දේශපාලකයින් විසින්, උසාවිය දේශපාලකයින්ගේ හිරකාරයෙක් කර ඇති නිසා, නීති පොත් හරහාම ඕනෑනම් කබර ගොයා තලගොයා කිරීමේලා නඩුකාරයින්ට ඇති වරණය වෙනුවට, නීති පොතෙන් බාහිර (එක්ස්ට්‍රා ලීගල්) කරුණු සලකා තීරණ දීමට, ලංකාවේ නඩුකාරයින්ට ආත්මශක්තියක් ලැබෙන්නේ කවදාද? එය ඕපනිං ඔෆ් අ කෑන් ඔෆ් වර්‌ම්ස් හෝ අහක යන නයින් ලඟට ගෙන්නා ගැනීමක් හෝ නොව ඇමෙරිකාව වැනි රටවල 1954 සිට ක්‍රියාත්මකවන නීතිවිද්‍යා වර්‌ධනයකි (බ්‍රවුන්/ බෝඩ් ඔෆ් එඩියුකේෂන්). මෙසේ නොවුනොත්, එනම්, පොතේ ඇති අකුරුවලට සීමා වුන ජනතා පරමාධිපත්‍යයක් උදෙසා බිම් මට්ටමෙන් එන නියම ජනතා පරමාධිපත්‍යය පාවා දුන්නොත්, උසාවි කෙරෙහි මහජනයා තුල ඇති ගෞරවය හා විශ්වාසය පළුදු වන්නේය. 20 සංශොධනය මෙවැනි සන්‌ධිස්ථානයකි. කෙටියෙන් කියනවා නම්, නීතිඥයින් 39 දෙනා විසින් උසාවිය දක්කන නීති පොත නමැති රේල් පාරෙන් ඉවතට ගොස්, රට ගැන සිතා සමස්ථ පින්තූරය දෙස බැලිය යුතුව ඇත (හොලිස්ටික් ඇප්‍රෝච් හෙවත් කැලෑව හා ගස් යන දෙකම දැකීම).
1896 සිට සෙපරේට් බට් ඊක්වල් (වෙන වෙනම පවත්‌වාගෙන ගියත් සමාන පහසුකම් ඇත) යනුවෙන් තිබූ ඇමෙරිකන් උසාවි තීරණය, ප්‍රථම වරට බාහිර සමාජ විද්‍යා, අධ්‍යාපන විද්‍යා හා මනෝ විද්‍යාත්මක ඓතිහාසික ශාක්‍ෂි සළකා බලා 1954 දී අහෝසි කලේ ඒ අනුවය. සමාන පහසුකම් තිබුණත්, නැතත්, කළු හා සුදු වශයෙන් වෙන වෙනම පාසැල් පවත්‌වාගෙන යෑමම ව්‍යවස්ථා විරෝධී අහිතකර ක්‍රියාවක් යයි උසාවිය තීරණය කලේය. 2000 දෙසැම්බර් බුෂ් එදිරිව ගෝර් නඩුව රට ගැන සිතා ඇමෙරිකන් උසාවිය දුන් තීරණයකි. 2000 ජනාධිපතිවරණයේදී ඇත්තවශයෙන් දිණුවේ ඇල්බට් ගෝර් වුවත්, ෆ්ලොරිඩා ජනපදයේ චන්ද නැවත ගැනීම නතරකර, උසාවිය ජෝජ් බුෂ්ට පක්‍ෂව දුන් තීන්‌දුව රට මවිත කලේය. මම එය භාර ගනිමි, එහෙත් එයට එකඟ නොවෙමි යයි කියමින් ගෝර් දේශපාලනයෙන් ඉවත් විය. එම නඩු තීන්දුව ලියූ ඇන්ටොනින් ස්කූලියා නම් (බුෂ්ගේ දේශපාලන පක්‍ෂයට ලැදි) නඩුකාර පංචස්කන්‌ධය පසු කලෙක කියා සිටියේ තම තීන්දුව වැරදි බවත්, එවැනි තීන්දුවක් දුන්නේ රටේ දේශපාලන කලබගෑණියක් ඇතිවීම, ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවිම වැලැක්‌වීම සඳහා බවත්‌ය.
ගාමිණී වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර යන දෙන්නා ගෝඨාභයට ඇමෙරිකන් පුරවැසිකම තිබේ යයි ගෙනා නඩුව 2019 ඔක්තෝබර් 4 දා ඇපැල් උසාවිය විසින් විසිකර දමන ලදී. 2019 අප්‍රියෙල් මස ඔහු ඇමෙරිකන් පුරවැසිභාවය අතහැරියත් එය ඇමෙරිකාවේ ගැෂට් වුනේ 2020 මැයි 8 දාය. ඇපැල් උසාවිය විසින් පැමිණිලිකරුවන්ගේ ද්වේෂ සහගත බව සළකා (එක්ස්ට්‍රා ලීගල් එවිඩන්ස්) නඩුව විසි කිරීම 2000 බුෂ්/ගෝර් නඩුව අනුව යෑමකි.
ඇමෙරිකන් තීන්‌දු අරහං ජයම්පති
19 වන සංශොධන මගඩිය කලේ, ශානි අබේසේකරගේ ගෝලයෙකු හා රංජන් රාමනායකගේ ඔත්තු කරුවෙක්‌වූ දෙමළ-සිංහල නමක් ඇති පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා සමඟ දැන් ස්විස්ටර්ලන්තයේ සිටිනා මාක්ස්වාදී ජයම්පති වික්‍රමරත්න හා සුමන්තිරන් යන දෙන්නාය. ජයම්පති වනාහි 1995-2000 චන්ද්‍රිකා-නීලන්ගේ රට කැබලි කිරීමේ පැකේජ් ඩීල් වලද ගෝලයෙකි. 19 යනු වැරදි ජාලාවක් බව ඔහුත්, මෛත්‍රීපාල සිරිසේනත් පිළිගත්තේය. මේ ජයම්පති දැන් 1976 ඉන්‌දියාවේ ඒ. ඩී. එම්. ජබල්පූර් නඩු තීන්‌දුව, සත් පුද්ගල උසාවියකින් 2018 දී නිෂ්ප්‍රභාකල බව ලියමින්, 19 රැකගත්තේ නැත්නම් ලංකාවේ ප්‍රජාන්ත්‍රවාදය සුන්වේ යයි කිඹුල් කඳුළු සළමින් සිටී (කලම්බු ටෙලිග්‍රාෆ්, ඔක්. 2). හදිසි නීතිය යටතේ හබයාස්කෝපස් (හමුදාවෙන්/පොලීසියෙන් අත් අඩංගුවට ගත් අයෙක් උසාවියට ඉදිරිපත් කිරීමට බලකිරීම) සඳහා උසාවියට යෑමට තිබූ අයිතිය ඉවත් කිරීම 1976 දී උසාවිය විසින් 4-1 චන්දයෙන් අනුමත කර තිබුණි. ඉන්දිරා ගාන්ධිගේ කාලයේදී ඇගේ බාලපුතා අනිසි උපත් පාලන ව්‍යාපාරයක්ද ගෙන ගියේය.
1978 සිට තිබුණු බලයට අමතර බලයක් 20 යටතේ ගෝඨාභයට නොලැබේ. මෙහි කලින්ද පෙන්‌වා දුන් අන්දමට 17 හා 19 න් ඒවා අඩපණ කලේ රනිල්ගේ වාසියට මිස රටේ යහපතක්, හෝ තන්ත්‍රවාදයක් රැකගැනීමට නොවේ. 1 සිට 16 මෙන්ම, 18 ට ගෙනාවේත් රට ගැන සිතා නොවන බව අප පිළිගත යුතුය. ලංකාව විනය ගරුක රටක් ලෙස වලෙන් ගොඩගැනීමට, හදිසි නීතිය අවශ්‍යනම්, එය භාධාවකින් තොරව යොදාගැනීමට ඉඩ නොදී ජනාධිපතිගේ තටු කැපීමට උසාවිය සූදානම්ද? එසේ විධායක බලතල නොතිබුණා නම් තිස් අවුරුදු යුද්‌ධය ජය ගන්නවාද? උසාවියට වායු සමීකරණය කල ශාලාවක සිට රූල් ඔෆ් ලෝ ගැන කළුකෝට් දාර්‍ශණිකයින්, හදවතට එකඟව හෝ රට වෙනුවෙන් නොව, කුලී පදනමට කරණ කෙස්පැලෙන තර්‍ක අසන්නට ඉඩක් ලැබේවිද? මේ 39+ අයගෙන් කී දෙනෙක් නොමිලේ පෙනී සිටිනා අයද?
උසාවිය මහජන මතයට පිටුපෑම
මෑතක සිට සුප්‍රිම් උසාවිය දී ඇති තීරණ, ලංකාව දෙකට කැඩීමේ ව්‍යාපාරයට ඉණිමං සපයන තීරණ වී තිබේ. මේවා රටේ සිංහල බෞද්‌ධ ශිෂ්ටාචාරයට පටහැනි තීන්‌දුය. රටේ නැති බොරු <ආධිපත්‍ය> දෙකක් තිබෙනවාය යන මායාවෙන් උසාවිය ගැලවිය යුතුව ඇති බව ජනතාවගේ මතය නොවේද? උදාහරණයක් වශයෙන්, 13 සංශොධනය නිසා ලංකාව පෙඩරල් නොවේ යයි උසාවිය කලින් කිව්වත්, පසු උසාවියක් කිව්වේ ඒ නිසා දැන් ලංකාව පෙඩරල්‌ය කියාය. සිරිසේන/රනිල් 2018 දෙසැම්බර් 13 නඩුවේදී කබරගොයා-තලගොයා-කබරගොයා න්‍යායට ඕනෑතරම් අවකාශ තිබුණත් උසාවිය, ඉන්දියන් තීන්දු හා පරණ පොත් පෙරලා දුන් තීරණය රටේ ජනතාව විසින් 2019 නොවැම්බර් 18 දා බලවත්සේ ප්‍රතික්‍ෂෙප කලේය. ඊට පෙර ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු, දිවි නැඟුම නඩුවේදී, පාකියසෝතිගේ ලිපියක් උසාවි නඩු තීන්දුවට අමුණා පෙඩරල් තහවුරු කර ඇගේ තනතුරද අහිමිකර ගත්තේය.
- ජනතා පරමාධිපත්‍යයක් කියා දෙයක් ලංකාවේ තිබේද?
අප විසින් කල යුතු පරණ ප්‍රශ්ණ වලට අළුත් උත්තර සෙවීම නොව අළුත් ප්‍රශ්ණ ඇසීමය. ඉහත ප්‍රශ්ණය සුප්‍රිම් උසාවිය ඇසුවොත් ඔවුන් ඉන්නේ පිඳුරු වලින් වැසූ බොරුවලක් උඩ නෙවේදැයි ඔවුන්ට පෙනීයනු ඇත. නීති පාස් කලේ කෙසේද යන්න තමන්ට අදාල නැත යන තර්‌කය රටේ මහජනයා විසින් පිළිගන්නේ නැත. මේ නිසා අන්තිමේදී, එක්කෝ උසාවිය නැත්නම් මහජනයා යන ඉරණමට මුහුණ දීමට උසාවියට සිදුවන කාලයක් එනවා නිසැකය. ජේ. ආර්.ගේ හෝ සිරිමාවෝගේ හෝ ව්‍යවස්ථා කොලවල තිබෙන මේ ජනතා පරමාධිත්‌වය එලියට එන්නේ කෙසේද? දැනට එය එන්නේ ජනයා පත් කරණ නියෝජිතයින් 225 හරහාය. මෙය සම්පූර්‌ණයෙන්ම ප්‍රෝඩාවක් නොවේද?
කැලිෆෝර්නියා ජනපදයේ මිලියන 40 ටත් (රටේ ජනහගනයෙන් අටෙන් එකක්!), උතුරු ඩැකෝටා ජනපදයේ මිලියන 0.8 ටත් (ලක්‍ෂ 8) ඇමෙරිකන් සෙනේට් සභාවේ ඉන්නේ නියෝජිතයින් දෙන්නා බැගින්‌ය. ඓතිහාසිකව, ඒ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ එසේය. නඩුකාරයින් චන්දය ඉල්ලා දිනා පත්‌වෙන එකම රටද එයය! ලංකාවේත් චන්ද 14ක් ලැබීත් මන්ත්‍රීවෙන්නට පුළුවන්‌වූ අවස්ථා තිබේ. 1960 ගණන් වල සිටම රටේ චන්ද දායකයාව රැවටීම කරගෙන ගියත් (උදාහරණ වශයෙන් පත්කල මන්ත්‍රීන් හය දෙනා වෙනුවට හා සෙනේට් සභාවට පක්‍ෂ ඉත්තන් පත් කිරීම), 1978 න් පසු ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විනාශ විය. කොළඹ ඉන්නා පක්‍ෂ දේශපාලන ලොක්කන් කල්ලි මහජනයා චන්දය දියයුත්තේ කාටද යන්න තීරණය කරන්නේය; එය හරියට රක්‍ෂාවක් සඳහා සම්මුඛපරීක්‍ෂණයක් වගේය. වැඩියෙන්ම සල්ලි වියදම් කල හැකි කොල්ලාට/බල්ලාට නොමිනේෂන් ලැබේ! මනාප ක්‍රමය බලු පොරයක් විය; මෙසේ දිණන අය නීති සම්පාදනය ගැන දැණුමක් නැති අයය; ඔවුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට යන්නේ නැත; ගියත් කරන්නේ නොමිලේම වගේ ලැබෙන කෑම් පිඟන් කා බී නිදාගන්නා එකය; පුස්තකාලය හිස්‌ය. රංජන්-හිරුණිකා හඬ පටි මොවුන්ගේ මානසික මට්ටම එලිදරව් කලේය. මේ නිසා මහජන සර්‌වාධිපත්‍ය අතරමංවී සිටී. කොටින්ම කියනවා නම් තමන්ගේ කියා මන්ත්‍රී කෙනෙක් ඉතිරිවී නැත. 2020 චන්දයේදී වූයේ මේ ක්‍රමයේ ඉරිතැලීමක් පමණක් බව අළුත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ වනචාරි ගතිය තුලින් දැනටමත් එලිවී ඇත.
පක්‍ෂය මාරුකිරීමට ඉඩදීම, පැරදුන අපේක්‍ෂකයින් ලැයිස්තුවෙන් පත්කිරීම, ලැයිස්තු සංකල්පය කෙළසීම, මන්ත්‍රීන්ට නොයෙක් ආකාරයේ අල්ලස් මහජන ටැක්ස් මුදලින් ලබාදීමේ සිට රජයෙන් දුන් නිවාස වලින් ඉවත් නොවීම යනාදී වශයෙන් ජාතික මට්ටමෙනුත්, චන්දයෙන් එන අනිත් හැම අයගේම අශීලාචාර හැසිරීම් ගැන සිතන විට රටේ තිබෙන්නේ මහජන සර්‌වාධිපත්‍යයක් නොව මන්ත්‍රීන්ලා විසින් රට කොල්ලකෑමකි. මන්ත්‍රීන්ගේ ආදායම් රටට එලි නොකිරීම, මන්ත්‍රීන් ආපසු කැඳවීමේ ක්‍රමයක් නැතිවීම, මන්ත්‍රීන් බාර් පර්මිට්, වැලි පර්මිට්කාරයින් වීම මීට අමතර කරුණු වන්නේ එය මහජන පරමාධිපත්‍යය හා ගැටිය හැකි නිසාය.
- නීතියේ ආධිපත්‍යය කියා දෙයක් ලංකාවේ තිබේද?
දෙවන කාරණය නම් රූල් ඔෆ් ලෝ මිථ්‍යාවය. නීතිය යනු බලයේ සිටින සුළු පන්තියක් විසින් විසින් සෙසු ජනතාව පාලනය කරන උපක්‍රමයක්/ආයුධයක් යන මතය, ලංකාවේදී එය නිරූපණය වන්නේ, කොළඹට කිරි, අපිට කැකිරි, කොළඹට දෙන දේ උතුරට හා නැඟෙනහිරටත් දෙන්න, සුද්දගෙ නීතිය අපට එපා, රටට එක නීතියක් යනාදී සටන් පාට වලිනි. යම් නීතියකට ආධිපත්‍යයක් ලැබෙන්නේ එය සාධාරණ (රීසනබල්) නීතියක් වුනොත්‌ය. යම් පැනවූ නීතියකින් බලාපොරොත්තු නොවු විපාක හටගත හැකිය. යම් නීතියකින් පොදු රීතීන් සකස් කලත්, ඒ ඒ විවිධ සමාජීය හා පරිසර අවස්ථාවලට අනුව නීතිය නම්‍යශීලී වියයුතු වන්නේය. රෙගුලාසි කියන්නේ ඒවාටය. භූගෝල විද්‍යාවට පටහැනි නීති පැණවිය නොහැකිය කියන්නේත් ඒ නිසාය. සිංහයාට හා ගවයාට බලපාන්නේ එකම නීතියම නම්, එතැන ඇත්තේ මර්‌ධනය යයි කියන්නේත් මේ නිසාය.
අසාධාරණ නීතියකට බලයක් (ආධිපත්‍යයක්) තිබිය හැකිද? ගාන්‌ධි හා ඇමෙරිකාවේ මාටින් ලූතර් කිං සටන් කලේ ඊට විරුද්‌ධවය. 1802 සිටම ලංකාවේ සිංහල බෞද්‌ධ ජනයාට විරුද්‌ධව අහිතකර නීති පණවන ලදී. මේ නීති බොදු බල සේනා සංවිධානයට විරුද්‌ධව හෝමාගම මහෙස්ත්‍රාත්, නීතිපති දෙපාර්‌තමේන්තුව, ඇපැල් උසාවිය හා සුප්‍රිම් උසාවිය භාවිතා කලේය. ඒ ගැන සිංහල බෞද්‌ධයින්ගේ හිතේ වෛරයක් ඇතිවීම අසාධාරණද? තම සංවිධානයට විරුද්‌ධව නඟන අභූත චෝදනා විමසීමට කොමිෂමක් පත්කරන්නැයි එය ඉල්ලන්නේද ඒ නිසාය. අඩු තරමින් 2002 චන්ද්‍රිකා මැතිණියගේ බුද්‌ධ ශාසන කොමිෂම් වාර්තාව වත් එලියට ගෙන නීති සම්පාදනය කරන්නැයි කියන්නේ අසාධාරණ නීති වෙනස් කිරීමටය.
ලංකාවේ පාර්ලිමේන්තුව හා කතානායක විසින් ජේ. ආර් ගේ කාලයේ සිටම වංචා ලෙස නීති පැණවූ බව ප්‍රසිද්‌ධ රහස්‌ය. මෙහි කැතම අවධිය යහපාලන කාලයය. මෙවැනි නීති වලට ආධිපත්‍යයක්, මහජන ගරු කිරීමක් බලාපොරොත්තු විය හැකිද? එවැනි කාරණා ගැන තිරය හිල් කර බැලීමට තමන්ට නීතියෙන් බලයක් නැතැයි කියමින් සුප්‍රිම් උසාවිය ඇඟබේරා ගැනීම පැස්බරා වැල්ලේ හිස සඟවා ගන්නවා වගේ ක්‍රියාවක් නොවේද? 19 සංශොධනය මඟින්, උසාවියට වංචාකර, මන්ත්‍රීන් තමන්ගේ ආයුකාලය තමන් විසින්ම තහවුරු කරගැනීමක් කලත්, ඒ ගැන උසාවිය කලේ කුමක්ද? ඒ වංචාව නීත්‍යාකුල යයි තීරණය කිරීමය. 33 (2) (සී) යන අළුත් වගන්තිය බොරු කකුලක් කිරීමය.
මෙසේ නීතියේම තිබෙන නීති වෙට්ටු වලට අමතරව, නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය, නීතිපති දෙපාර්‌තමේන්තුව, නීතිඥ සංගම්, නීතීඥයින් හා සිවිල් නිලධාරීන් විසින් කරණා නීතිය නැවීම් අප්‍රමාණය. දුකට කාරණය නම් එසේ කර අසුවූ විටවත් යුක්තියක්, සාධාරණයක් ඉටු නොවීමය. මෙසේ සාමාන්‍ය ජනයාගේ ඇසින් බලන විට නීතියේ ආධිපත්‍යය යනු, පොලිස්කාරයා, ග්‍රාම සේවකයා, සමෘධි බෙදන්නා, පගාවක් ඉල්ලන නිලධාරියා, කිමිහුමක් ගිය විට දඩගසන මහේස්ත්‍රාත්‌වරයා යනාදීන් පෙන්වන බලයය. තෝල්ක මුදලි, දෙපැත්තේ නීතීඥයින් හා සමහරවිට නඩුකාරයාගේද දැණුම ඇතිව නඩු කල් දමා සේවාදායකයාගෙන් මුදල් ගරා ගැනීම මොන තරම් අපරාධයක්ද? උසාවියේ විදුලි පංකාවට අශූචි ගැසීමට පවා විත්තිකරුවන් තැත්කරන්නේ මේ නිසා නොවේද?
- ඉහල-පහල නඩුකාරවරු පාරිශුද්‌ධ පුද්ගලයන් සේ පෙනීයනවාද?
ඉහත අංක 1 හා 2 දරණ ආධිපත්‍ය කරේ දමාගෙන ඉන්නා ඒවායේ මුරකාරයින් (නඩුකාරයින්), මුරකරන්නට එංගලන්තයේ මෙන් ක්‍රමයක් ලකාවේ නැත. මේ සඳහා හඬක් නැඟූ සුගන්ධිකා ප්‍රනන්දුටත්, නාගානන්ද කොඩිතුවක්කුටත් අත්‌වූ ඉරණම රටම දණී. උසාවියට අපහාස කලා යන දංගෙඩිය නඩුකාරයින්ගේ ආධිපත්‍යයය. නඩුකාරයින් ස්වාධීනද යන කරුණ වැදගත් වන්නේ මේ නිසාය. ඔවුන් අපක්‍ෂපාතී පමණක් නොව එසේ අපක්‍ෂපාතී යයි පෙනෙනවාද යන සාධකයේදී ලංකාව විනාශ කිරීමට කලින්ම ක්‍රියාකලේ සුප්‍රිම් උසාවියේ නඩුකාරයින් දෙන්නෙකුගේ පුතුන් දෙදෙනෙක්‌ම වීම ලෝක වාර්‌තාවකි. 1972 දී ෆිලික්ස් ඩයස්, ජයා පතිරණ නම් දේශපාලකයා සුප්‍රිම් උසාවියට පත්කලේය. 1978 දී ජේ. ආර් නඩුකාරයින් පත්කිරීම තමාගේ අතට ගෙන ඔවුන්ට තමා ඉදිරියේ දිවුරුම් දීමට නියම කලේය. දේශපාලකයින් ඉදිරියේ තමන්ගේ නම කිලිටුකර නොගත් එකම නඩුකාරතුමා නෙවිල් සමරකෝන් මහතා පමණක් යයි මට සිතේ. අග්‍ර විනිශ්චය කරුවන් වැඩි ගණනකටම දූෂණ චෝදනා නඩු ඇති එකම රට ලංකාවය.
නඩුකාරයින්ගේ ස්වාධීනත්‌වයට හානිකරවන නොයෙක් දොළ පිදේණි දේශපාලකයින් සතුව පවතී. විශ්‍රාම ගියවිට තානාපතිකම් දීම එක් උදාහරණයකි. හිරකාරයෝත් මනුෂ්‍යයෝය කියන්නා වගේ නඩුකාරයෝත් ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ නොවේද? දේශපාලකයා-නිලධාරියා-එන්.ජී.ඕ.කාරයා-යන ලංකාවේ දුෂ්ට ත්‍රිකෝණයට ලංකාවේ අධිකරණ පද්‌ධතියද පැටලී නැද්ද?
අද වන විට උසාවියට ඇති බරපතලම චෝදනාව නම් එයට ඇමෙරිකන් තානාපති කාර්‌යාලයෙන් එන බලපෑමය. උදය ගම්මන්පිල විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්කල තොරතුරු වෙන රටකදී නම් ඒ නඩුකාරයින් ඉල්ලා අස්වීමට හේතුවන තරම්‌ය. බ්‍රිතාන්‍ය කොමසාරිස් නඩු කාරයාට නඩුව විසඳිය හැටිත් ලියා එව්වේය. ලංකාවේ උසාවි ක්‍රමය දියුණු කිරීමට යයි අධිකරණ අමාත්‍යාංශයටත්, නීති සංගමයටත් ඩොලර් ලබාදී ඔවුන් පැණි හැළියේ වැටුණ ඇඹලයන් කර ගැනීම ඇමෙරිකාව ලෝකය පුරාම සිදුකරගෙන යන උපක්‍රමයකි. සුමානයක දෙකක ඇමෙරිකන් සාවාරියක් හෝ ඩොලර් පනස් දාහකට හෝ වඩා මේ කාලයේ වටින්නේ දුවට, පුතාට හෝ බෑණාට කාගේවත් ඇඟට නොදැනීම ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකට ශිෂ්‍යත්‌වයක් ලබා දීමය. නීතී විරෝධී නොවන ලෙස මිනිසාගේ චපල හා දුබල සිත හසුරුවීමේ හසළ දැණුම් සම්භාරයක් හා අත්දැකීම් ඇමෙරිකන් බුද්‌ධි අංශවලට තිබේ. යහපාලන කතානායක යටතේ ඇමෙරිකාව පාර්ලිමේන්තුව තුලට රිංගවා ගෙන තිබෙද්දී, ද්‌විත්‌ව පුරවැසියෙක් රට ඇමෙරිකාවට පාවා දේවීය යන කතාව මොන විහිළුවක්ද?
ගෝඨා දමණය
2009 මැයි 18 දාට පෙර සිටම රාජපක්‍ෂ පාලනය විනාශ කර දැමීමට, දිගින් දිගටම ක්‍රියාකල ඇමෙරිකාව ප්‍රධාන ඊළම් කොටස්, පසු කාලීනව ගෝඨාභය චන්දය ඉල්ලීම වලක්වන්නට නොකල දෙයක් නැත. රටේ හාමුදුරුවරු ඉදිරියට පැමිණ මේ හතුරු බලවේග පරාජය කලේය. එහෙත් හතුරු බලවේග මරා දමා නැත. පලවෙනි විජයබාහු රජු නිසා නොවේනම් ලංකාව දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙන බව ප්‍රසිද්‌ධ දකුණු ඉන්දියා ඉතිහාසඥ නීලකණ්ඨ ශාස්ත්‍රී ලිව්වේය. පලවෙනි විමලධර්‌මසූරිය රජු ලංකාව පෘතුගීසි කොලනියක් වීම වැලැක්‌වූයේය. මහින්ද රාජපක්‍ෂ විසින් ලංකාව දෙකට කැඩී විනාශවීම වැලැක්‌වූවේය. ඔහු විසින් කල වැරදි සිංහලයා අමතක කරන්නේ ඒ නිසාය. රට දෙකට කැඩුනා යනු සාමය නොවේ. ටැමිල්නාඩ් ජනයා උතුරේ සිට දකුණට වැල නොකැඩී ගලා එන, නිරන්තරයෙන් මායිම් ගැටුම් ඇතිවන හා කඳුකරයේ මලයනාඩු හිසරදයක් සහිත සිංහල පලස්තීනයක්, දකුණු සුඩානයක් බිහිවීමය.
20 වන සශොධනයේ, මේ වේලාවේ කරේදමා ගත යුතු නැති අනවශ්‍ය දේ ඇත. එහෙත් 20 ට විරුද්‌ධ බලවේගය, මේ යුද්‌ධය නම් කවදාවත් දිණන්න බෑ කියූ බලවේගය මය. උසාවිය මෙම කරුණ සළකා බැලිය යුතුමය. යුද හමුදාව හා පන්සල එකතුව ක්‍රියාකල ආකාරය කොරෝනාවේදී අපි දුටුවෙමු. ජනාධිපති බෞද්‌ධ උපදේශක සභාව මාසිකව එක්‍රැස් වන්නේය. මේ නිසා නව ව්‍යවස්ථාවක් සදනතුරු 20 ට ඉඩදීමේලා ඇති අවදානමක් සොයා යාමට උසාවියට හේතුවක් නැත. බුදු දහම අනුව හැඩගැසුණු ලංකාවේ, 1994 දී රුවන්ඩාවේ මෙන් මාස හතරක් තුල හුටු මහජාතිය විසින් ටුට්සි සුළු ජාතිකයින් ලක්‍ෂ අටක් සමූල ඝාතනය වූයේ නැත. 1983 ජූලි ආණ්ඩුවේ පාතාලකාරයින්ගේ ක්‍රියාවක් මිස සිංහල බෞද්‌ධයින්ගේ ඊට සම්බන්‌ධයක් නැත.
කොට උඩ ගොස් තිබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට, ගම සමඟ පිළිසඳරක් යටතේ රටේ ජනාධිපති ගමින් ගමට ගොස් කෙළින්ම ජනතාවගේ ප්‍රශ්ණවලට අතගැසීම, ආදි ග්‍රීක ඩිරෙක්ට් ඩිමොක්‍රසි, ලංකාවේ ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌ව සමාජ ආර්‌ථික පාලන මොඩලය, ඉන්දියාවේ පංචයාත්, අප්‍රිකාවේ ට්‍රයිබල් කවුන්සිල් සිහිකරවයි. මෙය පොතේ ඇති මහජන සර්‌වාධිපත්‍යය බිමේදී ක්‍රියාවට නැගීම නොවේද?