බෞද්ධ ජනරජ ප්‍රවාදය – 13 වැනි කොටස - පක්‍ෂ ක්‍රමයේ සීමා
Posted on April 5th, 2021
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
බෞද්ධ ජනරජයේ පරමාධිපත්‍යය බලයට සාමූහික අයිතිය අයත්වන බවත් එයට මූලික තැනක් හිමිවන බවත් මෙම ලිපි පෙළින් අපි අවධාරණය කළෙමු. පක්‍ෂ ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක වන්නේ ද එක්තරා ආකාරයක සාමූහික අයිතියකි. තව ද පවත්නා ක්‍රමයේ සිට වෙනත් පරමාදර්ශයකට රට ගෙන යෑමේ දී එය අනුක්‍රමිකව සිදුකිරීම ද අත්‍යවශ්‍ය කටයුත්තකි. එසේ නොමැතිව, එක්වර ම කරනු ලබන මහා වෙනස්කම් හේතුවෙන් සමාජය තුළ අනවශ්‍ය ගැටුම් නිර්මාණය විය හැකිය.
කෙසේ වුව ද, පක්‍ෂ ක්‍රමයට සියල්ල යටත්කිරීම බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ සිදුකළ නොහැකිය. එහෙයින් යම් පාලනයකට යටත්ව පක්‍ෂ ක්‍රමයට ඉඩදිය යුතු බව අපි වටහාගත යුතු වෙමු. මේ සඳහා අනුගමනය කළ හැකි පාලන උපක්‍රම මොනවා ද? මෙම ලිපියෙන් අපි ඒ ගැන විමසා බලමු.
විධායකය තෝරාපත් කරගැනීමට සහ එය කාර්යක්‍ෂම අයුරින් මෙහෙයවීමට අදාළ කාර්යයන්ට පමණක් පක්‍ෂ ක්‍රමය යොදාගැනීම මේ අරභයා යොදාගත හැකි මූලික ම උපක්‍රමයයි. ජනතාවගේ උපදේශන බලතල, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලතල සහ ජනතාවගේ අධිකරණ බලතල මෙහෙයවීම සඳහා පක්‍ෂ ක්‍රමය උපයෝගී කර නොගැනෙයි. එහෙයින් බෞද්ධ ජනරජයේ උත්තරීතර උපදේශක සභාව, ජාතික ව්‍යවස්ථාදායක සභාව සහ අධිකරණය නිර්පාක්‍ෂික ආයතන ලෙසින් ක්‍රියාත්මක වෙයි. මෙ ලෙසින් පක්‍ෂ ක්‍රමය විධායකයට පමණක් අදාළ කරගැනීමෙන් එය සීමා කළ හැකිය.
ඒ අනුව, ජනරජයේ ජනාධිපතිවරයා, ජාතික විධායක සභාව, රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ කෝරළ සභාවල සභාපතිවරු පමණක් පක්‍ෂ ක්‍රමය අනුව තෝරාපත් කර ගැනෙයි. (රාජ්‍ය මන්ත්‍රණ සභාව යනු ව්‍යවස්ථාදායක සභාවක් නොවන බව අපි මෙහි දී නැවතත් අවධාරණය කරමු. විධායකයේ කටයුතු විමර්ශනය, රාජ්‍ය අයවැය සම්මත කිරීම, දෝෂාභියෝග සහ විශ්වාසභංග යෝජනා ගෙන ඒම යනාදියට එහි කාර්යයන් සීමාවෙයි). උක්ත තනතුරුවලට ජනතා නියෝජිතයන් පත් කරගැනීම සඳහා පමණක් පක්‍ෂ ක්‍රමය යොදා ගැනෙයි.
එයට අමතරව ජනතා නියෝජිතත්වය සඳහා තරගකිරීමට අවශ්‍ය මූලික සුදුසුකම් පැනැවීමෙන් ද අනවශ්‍ය විදිහට පක්‍ෂ බිහිවීම සීමා කළ හැකිය. ගම් සභාව මුළුමනින්ම ද කෝරළ සභාවේ සභාපති හැර අනෙකුත් තනතුරු ද නිර්පාක්‍ෂික ක්‍රමය අනුව තෝරාපත් කරනු ලබන බව කලින් ලිපිවලින් අපි පැහැදිළි කළෙමු. ගම් සභා සාමාජිකයන් ගම් මට්ටමේ දී පවත්වනු ලබන සෘජු නිලවරණවලින් ද කෝරළ සභා සාමාජිකයන් ගම් සභා සභිකයන් අතරින් ද තෝරාපත් කර ගැනෙයි. එහෙයින් එකී ආයතන නිර්පාක්‍ෂික ඒවා වෙයි. පක්‍ෂ ක්‍රමය මෙම ආයතනවල පාලනයට නතු කෙරෙන්නේ එම සභාවල සාමාජිකයන් ඡන්දය ලබාදෙන ප්‍රාථමික මැතිවරණ පැවැත්වීමෙනි.
මෙය කළ හැක්කේ කෙ ලෙසින් ද?
යම් පක්‍ෂයක අපේක්‍ෂකයකු කෝරළ සභාවේ සභාපති ධුරයට තරගකිරීමට අපේක්‍ෂා කරන්නේ නම් ඔහු හෝ ඇය මුලින් ම එම සභාවට අයත් ගම් සභා සාමාජිකයන් ඡන්දදායකයන් වශයෙන් කටයුතු කරන ප්‍රාථමික නිලවරණයකට සහභාගී විය යුත්තේ ය. මෙම ප්‍රාථමික නිලවරණයේ දී කෝරළ සභාවට අයත් ගම් සභා අඩකින් හෝ එයට වැඩි ප්‍රමාණයකින් හෝ ඡන්ද තුනෙන් එකක් හෝ එයට වැඩි ප්‍රමාණයක් හෝ වෙන වෙනම ලබාගන්නා අපේක්‍ෂකයෝ පමණක් අවසාන මැතිවරණයට සහභාගීවීමට සුදුසුකම් ලබති. ඒ අනුව කෝරළ සභා මට්ටමින් අවසාන මැතිවරණයට සහභාගී විය හැකි උපරිම පක්‍ෂ ප්‍රමාණය හයකට සීමාවෙයි. කෙසේ වුව ද, ප්‍රායෝගික තත්ත්වයන් තුළ මෙම ප්‍රමාණය දෙකක් හෝ තුනක් වීමේ වැඩි ඉඩක් වෙයි.
ජනාධිපතිවරණය සඳහා ද මෙම ප්‍රාථමික මැතිවරණ ක්‍රමය අදාළ කරගත හැකිය. එහි දී ඡන්දදායකයින් වශයෙන් කටයුතු කරන්නේ දිවයිනේ සියළුම කෝරළ සභාවල සාමාජිකයන් ය. එම ප්‍රාථමික නිලවරණයේ දී කෝරළ සභා අඩකින් හෝ එයට වැඩි ප්‍රමාණයකින් හෝ ඡන්ද තුනෙන් එකක් හෝ එයට වැඩි ප්‍රමාණයක් හෝ වෙන වෙනම ලබාගන්නා අපේක්‍ෂකයෝ පමණක් ජනාධිපතිවරණය සඳහා සහභාගීවීමට සුදුසුකම් ලබති. ප්‍රායෝගික තත්ත්වයන් තුළ මෙ ලෙස සුදුසුකම් ලබන පක්‍ෂ ප්‍රමාණය ද දෙකක් හෝ තුනක් වීමේ වැඩි ඉඩක් වෙයි.
දේශපාලනික වශයෙන් සංවිධානය වීමට ජනතාවට තිබෙන සාමූහික අයිතිය මෙම ක්‍රමය තුළින් ආරක්‍ෂා කෙරෙන අතර සීමාවක් නොමැති අයුරින් ජනතාව බෙදා වෙන්වීම වළක්වයි. මැතිවරණවලට සහභාගීවීමේ වරම ජනතා පදනමක් ඇති පක්‍ෂවලට පමණක් හිමිවෙයි. මැතිවරණයකට සහභාගීවීමට යම් පක්‍ෂයක් අපේක්‍ෂා කරන්නේ නම් ඒ සඳහා කළ යුතු මූලික ම කාර්යය වනුයේ තමන්ගේ ජන පදනම වර්ධනය කරගැනීම ය. කෝරළ මට්ටමින් මෙය සිදුකිරීම අපහසු කාර්යයක් නොවේ. මෙ ලෙස කෝරළ මට්ටමින් ශක්තිමත් වන පක්‍ෂයකට අවසානයේ දී ජනාධිපතිවරණයට ද සහභාගී විය හැකිය.
නායකයන් කිහිප දෙනකු විසින් මෙහෙයවනු ලබන දේශපාලන පක්‍ෂ මෙම ක්‍රමය යටතේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වනු නිසැකය. මේ අනුව ජනතාවගේ බලය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදයක් බෞද්ධ ජනරජය තුළ ස්ථාපිත වනු ඇත්තේ ය.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
April 6th, 2021 at 2:37 am
Good explanation.