බෞද්ධ ජනරජ ප්‍රවාදය – 42 වැනි කොටස- ජාතික අලාභය පිටුදැකීම
Posted on November 1st, 2021
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ලෞකික ජීවිතයේ දී තමන් හට ලබාගත හැකි පරම ලාභය නිරෝගී බව දන්නෝ ඒ වෙනුවෙන් කැපැවෙති. මෙයට කායික නිරෝගී බව මෙන් ම මානසික නිරෝගී බව ද ඇතුළත් බව අපි දනිමු. මෙය හුදෙක් පුද්ගලික කාරණයක් පමණක් නොවේ. පවුලෙහි, සමාජයෙහි සහ අවසාන වශයෙන් ජාතියෙහි නිරෝගිමත් බව සහ ශක්තිමත් බව මෙම කරුණ මත රඳා පවතියි. එහෙයින් පුද්ගලික, සාමාජයීය සහ ජාතික නිරෝගීභාවය සහතිකකිරීම ජනරජයේ සෑම මට්ටමක දී ම සිදුවිය යුතු කාර්යයක් වෙයි.
නිරෝගී බව රැකගැනීමේ අභියෝගය ජයගත හැක්කේ ද චතුර්විධ ප්‍රතිපදාව” අනුගමනයකිරීමෙනි. (මෙම ලිපි මාලාවේ 35 වැනි කොටසින් ඒ ගැන සඳහන් කර තිබේ). යම් ගැටලුවක් පවත්නා කල්හි එය හොඳින් හඳුනාගෙන, එයට පිටු දී ඇති හේතු විමසා විසඳුමක් සොයාගැනීම ද එම විසඳුම සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය කටයුතු විධිමත් අයුරින් සිදුකිරීම ද එම ප්‍රතිපදාව තුළින් නිර්දේශිත ය.
සියලු දුක් ඉපැදීමෙහි මුල අවිද්‍යාව බව පටිච්චසමුප්පාද ධර්මයෙන් දේශිත ය. දුක් කෙළවර කළ හැක්කේ අවිද්‍යාවේ නිරෝධයෙනි. ලෞකික ජීවිතයෙහි පුද්ගල, සමාජ – ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ද මෙම ඉගැන්වීම අදාළ කරගත හැකි ය. නිරෝගී බව රැකගැනීමට මෙම ඉගැන්වීම අදාළ කරගත හැක්කේ ඒ සඳහා අවශ්‍ය දැනුම මූලික කරගෙන ය. බොහෝ රෝග හටගැනීම සඳහා මිනිසුන්ගේ වැරැදි පැවැතුම් හේතුවෙයි. වැරැදි පැවැතුම්වලට මිනිසුන් යොමුවන්නේ අඥාන බව මුල් කරගෙන ය. වැරැදි පැවැත්මෙහි ප්‍රතිවිපාක ගැන දන්නෝ ඒවාට යොමු නොවෙති.
එහෙයින් පුද්ගලික, සමාජ, ජාතික නිරෝගීභාවය සහතිකකිරීම අරභයා කළ යුතු මූලික ම කාර්යය වනුයේ වැරැදි පැවැතුම්වලින් මිනිසුන් ඈත් කරවන විධිමත් සහ අවිධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකකිරීම වේ. මෙම ප්‍රවාදයෙන් යෝජිත සෑම (ග්‍රාමීය, කෝරළ සහ ජාතික) පාලන මට්ටමක දී ම මෙය සිදුවිය යුත්තේ ය. මෙම ලිපි මාලාවේ 18 වැනි කොටසින් නිර්දේශිත ආකාරයට මෙම කාර්යය සිදුකළ යුත්තේ වගකීම පැවැරීමේ ක්‍රමවේදය අනුගමනයකිරීමෙනි. අදාළ වගකීම් නිසි පරිදි ඉටුකරන්නේ ද යන්න සහතිකකිරීමේ ක්‍රමයක් හඳුන්වාදීමේ වැදගත්කම ද ඒ තුළින් නිර්දේශ කෙරිණි.
යහපත් ආහාර පානවලින් සහ පැවැතුම්වලින් මිනිසුන් ඈත්කරවන භාණ්ඩ සහ සේවා වෙළෙඳපොළෙන් ඉවත්කිරීම ද ඒ ඒ පාලන ආයතන විසින් සිදුකළ යුත්තේ ය. පෝෂණ ගුණයෙන් තොර ආහාර පාන සුලභ, ඒවා ඉතා පහසුවෙන් මිල දී ගත හැකි පරිසරයක් තුළ යහපත් පැවැතුම් පිළිබඳ අධ්‍යාපන වැඩසටහන් මෙහෙයවීම ඵලදායක නැත. රෝගකාරක භාණ්ඩ සහ සේවා වෙළෙඳපොළින් ඉවත්කිරීමේ වගකීම ද අදාළ ආයතනවලට පැවැරිය යුත්තේ ය.
පරිසරයට සහ මිනිස් සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය ගොවිතැනට සහ ආහාර පානවලට එක්කිරීම ද වැළැක්විය යුතු වේ. මෙම කාර්යයට අදාළ දැනුම ද විධිමත් අයුරින් ප්‍රචලිතකිරීම ජනරජයේ සෑම මට්ටමක දී ම සිදුකළ යුතුවෙයි. මෙම කාර්යයට අදාළ ගැටලු, දැනුම සහ මතවාද පිළිබඳව කරුණු විමසා නිවැරැදි දේ තහවුරු කර, වැරැදි දේ බැහැර කර යෝග්‍ය වූ නිර්දේශ නිකුත්කිරීමේ වගකීම පැවැරුණු ජාතික මට්ටමේ ස්ථිර කොමිසම් සභාවක් පිහිටුවීම ද කළ හැක්කේ ය. එම ආයතනයෙන් විසින් ලබාදෙන නිර්දේශවලට පටහැනි අයුරින් වැරැදි දැනුම සහ මතවාද ජනගතකරන අයට දඬුවම්කිරීමේ ක්‍රමවේදයක් ද හඳුන්වාදිය යුතුවෙයි.
සෞඛ්‍යය විෂයයට අදාළව ඒ ඒ පාලන ආයතවලට පැවැරෙන වගකීම් නිසි පරිදි ඉටුවන්නේ ද යන්න සහතික කළ හැක්කේ නිරෝගී බව පිළිබඳ දර්ශක විමසීමෙනි. ග්‍රාමීය (නාගරික), කෝරළ සහ ජාතික මට්ටමින් එම දර්ශක නිකුත් කළ යුතුවෙයි. එමෙන් ම, නිසි කලට ඒවා නිකුත්කිරීම ද අදාළ ආයතවල වගකීමක් බවට පත්කළ යුත්තේ ය. තමන්ට පැවැරුණු වගකීම් ඒ ඒ ආයතනය විසින් නිසි පරිදි ඉටුකරන්නේ ද යන්න විමසීමටත් යම් තැනෙක විශේෂිත සෞඛ්‍ය ගැටලුවක් ඇති වූ විට ඒ පිළිබඳව සොයාබැලීමටත් මෙම දර්ශක උපකාරී වෙයි.
ජනරජයේ සෞඛ්‍ය අංශයේ දියුණුව නිරූපණය කළ හැක්කේ එය සතුව කොපමණ රෝහල් සංඛ්‍යාවක් තිබෙන්නේ ද යන්න හෝ එම රෝහල් සතුව කොපමණ පහසුකම් තිබෙන්නේ ද යන්න හෝ මූලික කරගෙන නොවේ. ඕනෑ ම රටකට එවැනි පහසුකම් තිබිය යුතු බව අවිවාදිත ය. එසේ වුව ද, සෞඛ්‍ය අංශයේ දියුණුව මැනිය යුතු මූලික ම නිර්ණායකය වනුයේ ජනතාවගේ නිරෝගීභාවය ය. මානසික සහ කායික නිරෝගී බවින් පිරිපුන් ජනතාවක් සිටින රටක සමාජ – ආර්ථික අවශ්‍යතා සපුරාලීම ඉතා පහසු කාර්යයක් වෙයි. එසේ නො වූ කල්හි, විවිධ වූ සමාජ – ආර්ථික ගැටලු නිරන්තරයෙන් පැනනැගෙන අතර ඒවා විසඳීම ද අසීරුවෙයි. එහෙයින් එවැනි ගැටලු තුළින් උපදින ජාතික අලාභය පිටුදැකීමේ මූලික ම කාර්යය වනුයේ ජනතාවගේ නිරෝගීභාවය සහතිකකිරීම බැව් ජනරජය විසින් හඳුනාගත යුත්තේ ය.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති