රජය පුරවැසියන්ගෙන් රත්තරං මිලයට ගැනීම සහ අපේ බැංකු කඩා වැටීමේ සම්භාවිතාව ගැන
Posted on April 25th, 2022

චානක බණ්ඩාරගේ

රත්තරං

2019 නොවැම්බර් වලදී රටේ ශුද්ධ ඩොලර් සංචිතය බිලියන 7 ඉක්මවා තිබුණි, සැලකිය යුතු තරම් විශාල රත්තරං සංචිතයක්ද විය. අද මේවා පිලිවෙලින් ඩොලර් මිලියන 100 සහ ඉතාම අඩු රත්තරං සංචිතයක් බවට පත්ව ඇත. දැන් ඉන්දියාවෙන් සහ චීනයෙන් දෙන ණය සහ ආධාර මත යැපෙමින් එදිනෙදා වේල පිරිමසා ගන්නා තත්වයකට අප පත්ව සිටිමු.

තත්ත්වය මෙසේ තිබියදී  අපේම උත්සාහයන් වලින් ඩොලර් සොයා ගැනීමට රජය කිසිදු වෑයමක් දරුනු ලබන බවක් නොපෙනේ.  නව මාර්ග බොහෝමයක් ඇත; රජයට ඒ ගැන කිසිදු උවමනාවක් නැති ගානය. එසේ නොමැතිනම්, නිර්මාණශීලී ලෙස සිතීමේ හැකියාවක් රජයට නොමැත.

එක් උදාහරණයක් නම මැද පෙරදිග සේවය කරන්නන් සහ බටහිර සහ ආසියාතික රටවල සේවයේ යෙදී සිටින සිංහල සහ දෙමළ ඩයස්පෝරාව මාර්ගයෙන් අපේ විදෙස් සංචිත වැඩි කරගැනීමේ මාර්ග ගැන රජය නොසැලකිලිමත් වීමයි (මේ අපේ රට විරුවන් ගණන, ලක්ෂ 20කට වැඩිය).

දැන් ශ්‍රී ලංකාවට එන විදේශ සංචාරකයන් පවා බැංකුවලින් ඩොලර් මාරු නොකරත්. ඔවුන්ද යන්නේ කළු කඩයටය. රජයේ නිද්‍රාශීලි භාවය මේ බොහෝමයකට හේතුය.

තව තවත් විදේශ ණය ගැනීම ගැන පමණක් රජය සිතන බවයි පෙනී යන්නේ; බංග්ලාදේශයෙන් පවා.

තත්ත්වය මෙය නිසා රටේ ඩොලර් සංචිත වැඩි කර ගැනීමට සහ ඩොලරයට සාපේක්ෂව වන රුපියලේ වර්තමාන දැවැන්ත කඩා වැටීම වලක්වාලීම/අඩු කර ගැනීම සඳහා රජය රටවැසියන්ගෙන් සාධාරණ මුදලට, ඔවුන් සතු රත්තරං මිලදී ගත යුතු බව මෙම ලියුම්කරු කියා සිටී.  මෙය රජයට කල හැකි දෙයකි, එතරම් අසීරු නැත.

ඉන්පසු, මේ රත්තරං ඉතා පහසුවෙන් ලෝක වෙළඳපොලේ විකිණිය හැක (අද ලෝක වෙළඳපලේ කැරට් 22 රත්තරං ග්‍රෑමයක් ඩොලර් 63ක් වේ). ලෝකයේ රත්තරං වැඩියෙන්ම මිලදී ගන්නා රට ඉන්දියාවයි. ඉන්දියාව අපේ රත්තරං වලට කැමති අප රටවල් දෙකේම භාවිතා වෙන්නේ කැරට් 24 නොව  22 රත්තරං නිසාය.

ලෝක වෙළඳපොළේ විකුණා අඩු තරමින් ඩොලර් බිලියන 2ක් හෝ 3ක් රජයට ඉතා ඉක්මනින්, පහසුවෙන් සොයා ගත හැකිවනු ඇත. රටවැසියන්ට හොඳ මිලක් ගෙවන්නේ නම් වඩ වඩාත් රත්තරං රජයට මිලදී ගැනීමට හැකිවනු ඇත. උගස් බඩු ස්ථානවල ඇති සින්නවූණු  රත්තරං ද රජය විසින් මිලදී ගත යුතුය.

අපට තිබු රත්තරං අවසන් තොගය කබ්රාල් මහතා මේ වසර මුල විකුණා දැම්මේ ඩොලර් මිලියන 500 බැඳුම්කර ණයක් ගෙවා දැමීමටය. ඒවා විකුණුවේ කාටද, කුමන මුදලකටද, මේ ඩොලර් මිලියන 500 හිමිකරුවන් වුයේ කවුද  – මේවා කිසි කෙනෙක් නොදනී, රජය නොකියයි.  මේවා මහජන මුදල්ය.  හංගන්නේ මන්ද?  LTTE පරාජයෙන් පසු කොළඹට ගෙනා රත්තරං වලට සිදු වුයේ කුමක්ද? (ටොන් 130 බවට පුවත්පත් වල වාර්ථා වී තිබුණි – මෙම ප්‍රමාණයේ සත්‍ය අසත්‍ය බව මෙම ලියුම්කරු නොදනී)

යුක්රේන් යුද්ධයත් සමඟ බටහිර රටවල් රුසියාවට විරුද්ධව දැඩි ආර්ථික සම්භාධක දමනු ලැබීය. සැම දෙනාම සිතුවේ රූබලය මුළුමනින්ම කඩා වැටෙනු ඇතැයි කියායි. එසේ සිදුවුයේ නැත; රූබලය ඩොලරය හමුවේ සටනක් දෙමින් සිටී. එයට හේතුව පුටින් තම රට වැසියන්ගෙන් අති විශාල ලෙස රත්තරං මිලදී ගැනීමයි. එම රත්තරං උණු කර රත්තරං බාර් (gold bars) නිපදවයි. අද රුසියාවේ මහ බැංකුව සතු විදේශ සංචිතවලින් 25% පමණ වන්නේ රත්තරංය.

1939 දුර්භික්ෂයෙදී (Great Depression) එවකට ඇමරිකන් ජනාධිපති රූස්වෙල්ට්  විශේෂ නිතී පනවා ඇමරිකන් වැසියන් සතු රත්තරං ඉතාම  අඩු  මිලකට රජයට පවරා ගත්තේය. ඒ මඟින් ඔහු ඇමරිකාව පමණක් නොව මුළු ලෝකයම එම දැවැන්ත දුර්භික්ෂයෙන් බේරා ගත්තේය.

දැන් රජයද එසේ කල යුතු යයි  මෙම ලියුම්කරු කිසිසේත් නොකියයි – අඩු මිලට රත්තරං මිලදී ගැනීම.  පසුගිය වසර 2ක තුල රජය නොනැවතී, වාර්තාගත ලෙස රුපියල් නෝට්ටු අච්චු ගැසීය (එක් දිනකට පමණක් රුපියල් මිලියන් ගණනින්). මේ මුදල් කෝ? ඒවා ගැන විගණනයක් කර ඇද්ද? මේ මුදල් ඉතිරිව තිබිය යුතුයි. රටවැසියන් සතු රත්තරං මිලදී ගැනීම සඳහා ඒවායින් කොටසක් යොදවා ගත හැකියි.

පුටින් කරන්නේ රත්තරං ලෝක වෙළඳපොළේ විකිණීම නොවේ (සම්භාධක නිසා ඔහුට එය කල නොහැක). තම රත්තරං සංචිතය ඇපයට තබා ඔහු ඩොලර් වෙනුවට රුබල් මඟින් ගණුදෙණු කරයි. රත්තරං ඇති තරම් තිබෙන නිසා රූබලය ඩොලරයට සාපේක්ෂව බිඳ නොවැටී පවතී. චීනය, ඉන්දියාව, බ්‍රසීලය, ඉරානය, ඉන්දුනීසියාව වැනි රටවල් බිය නැතිව රුසියාව සමඟ රුබල් මඟින් තෙල්, ගෑස්, බෙහෙත්, ආයුධ සඳහා ගණුදෙණු කරත්.

අපටද රත්තරං තිබේ නම් රුපියලේ දැන් තිබෙන බිඳ වැටීම අවම කර ගත හැකිය.  අපේ රුපියල මැලේසියාව, ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව  වැනි රටවල මුදල් හුවමාරු ආයතනවල අලෙවි කර ගත හැකි වනු ඇත. රුසියාවට නොමැති අපට තිබෙන වාසිය නම් සම්භාධක නැති නිසා රටේ වැසියන්ගෙන් මිලදී ගන්නා රත්තරං බාර් කර  කෙලින්ම ලෝක වෙළඳපොළේ විකිණිමට අපට  ඇති හැකියාවය.  

බැංකු

බැංකු සහ මුල්‍ය ආයතන කඩා වැටීම ගැන ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටකි ශ්‍රී ලංකාව. ප්‍රමුඛ බැංකුවට අමතරව ශ්‍රී ලංකාවේ බිඳ වැටි ඇති මුල්‍ය ආයතන අති මහත්ය. ඉන් සමහරක් නම් ට්‍රාන්ස් ලංකා, HPT, වනික්, TKS, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, ගෝල්ඩන් කී, ද ෆිනෑන්ස්,  ETI සහ ස්වර්ණමහල් වේ. මේ නිසා දස දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත ‘විනාශ’ විය. බොහෝ අය අකාලයේ ලෙඩවී මිය ගියහ, ඇතැම්හු සිය දිවි නසා ගත්හ.

නමුත් අපි පාඩම් ඉගෙන ගෙන නැති ගානය. දැන් අපේ බැංකු කඩා වැටීමේ සම්භාවිතාවක් ඇද්ද නැද්ද යන්න ගැන අපට ගානක් නැත. විපතක් පැමිණි පසු පමණක් අප කුලප්පු වෙමු, එවිට සියල්ල සිදුවී අවසානය.

දැන් තිබෙන ආර්ථික අර්බුදය හමුවේ අපේ සියළුම බැංකු ඉතා දැඩි පීඩනයකට හසුවී තිබේ. මේ බව රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා ප්‍රකාශ කළේය.

ග්‍රීසියේ දුර්භික්ෂයේදී එම රටේ සියළු  බැංකු දින නියමයක් නොමැතිව වසා දැම්මේ ලක්ෂ සංඛ්‍යාත ජනයා විසින් තම තැන්පත් මුදල් ආපසු  ලබා ගැනීම පිණිස කරන ලද ඉල්ලීම් ඉටු කිරීමට එම බැංකු අපොහොසත් වූ නිසාය. ආර්ජන්‍ටිනාවේ දුර්භික්ෂයේදී එම රටේ බැංකු සියල්ලම පාහේ කඩා වැටිණි. තම මුදල් ඉල්ලා බැංකුවලට රාශි භූත වූ ජනයාට කිසිම මුදලක් නොලැබුණි.

රජයේ අමනොඥ්ය මුල්‍ය පාලනය නිසා ග්‍රීසියට සහ ආර්ජන්ටිනාවේ සිදුවූ දේ බොහෝ දුරට අපේ රටේද සිදුවිය හැක. මේ ලිපියේ අරමුණ අප එම වලට නොවැටී බේරීමය. එමෙන්ම මෙම බැරැරුම් ප්‍රශ්ණය ගැන රට තුල කථිකාවක් ඇති කිරීමය.  

බැංකු සහ මුල්‍ය ආයතන වල ඇති අපේ තැන්පතු වලට රජය වග කියන්නේ ඉතාම අඩු මුදලකටය.

බැංකු වැටුනොත් වැඩියෙන්ම අමාරුවේ වැටෙනුයේ අපේ වැඩිහිටි විශ්‍රාමිකයන්ය.

රජය බැංකු පාලනය කරන්නේ ඉතාම අපරික්ෂාකාරීව බව පෙනේ. ශ්‍රී ලංකාවේ බැංකු 20ක් පමණ ඇත, හෝ ඊටත් වැඩිය. දේශපාලඥයනට සහ රජයේ උසස්ම නිලධාරීන්ට අල්ලස් දී රටේ කෝටිපති ව්‍යාපාරිකයෝ තම තමන්ගේ පුද්ගලික බැංකු ආරම්භ කර ගෙන ඇත. අපේ ජනගහනය ඉතා කුඩා නිසා රටේ ඇති විශාල බැංකු ප්‍රමාණය අතර ඇති තරඟකාරිත්වය අති මහත්ය. අති ධනවත් ඕස්ත්‍රේලියාවටම ඇත්තේ බැංකු 7  හෝ 8 පමණි. එම රජය ඒවා සිය ඇස් 2 මෙන් රකී.

එක් දවසක් තුල රටේ මුදල් ඇමති, මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් තිදෙනාම ඉල්ලා අස් වුහ. මෙය ලෝක වාර්තාවක්ද?  රටට වින කරන මෙවන් නිලධාරින් රටේ මුළු මුල්‍ය පද්ධතියම දැඩි අවදානමකට පත් කරත්. මේ අය අඩුම වශයෙන් වසර 6ක් වත් තම තනතුරුව රැඳී සිට, හොඳින් රාජකාරි කර,  ඉතාම ප්‍රවේශමින් සහ ක්‍රමානුකූලව තම තනතුරු ඊළඟ නිලධාරීන්ට භාර දිය යුතුයි. දියුණු රටවල වැඩ කෙරෙන්නේ එසේය. මාස කිහිපයක් පමණක් වැඩ කර විශ්‍රාම වැටුපක් ද සදා ගෙන ඔවුහු කිසිවෙකුටත් නොකියා එක් වරම ඉල්ලා අස් වුහ. රජය සහ ජනතාව අතරමං විය.

රජය දැන් පොලී අනුපාත කඩිනමින් ඉහල දමමින් සිටි. ඒවා 13.5%, 14.5% දක්වා ඉහල නංවා ඇත. 25% දක්වා ඉහල නැංවිය යුතුයයි ඇතැම් ආර්ථික විශේෂඥයයෝ කියති.

අති ධනවත් රටවල් උද්ධමනය අඩු කිරීමට පොලී අනුපාත ඉහළ දමන බව සත්‍යයකි. එසේ කරන්නේ ජනතාවගේ මුදල් පරිහරණය අඩු කිරීමටය. නමුත් අප දැන් අන්ත දුගීය; ජනතාව/ව්‍යාපාරික ප්‍රජාව බොහෝ දෙනෙක් අත මුදල් නැත.  කබ්රාල් මහතා මාස 6ක් තිස්සේ – 2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු 10 දක්වා ඩොලරය රුපියල් 203 අගයේ රඳවා ගත්තේය.  අද ඩොලරය රුපියල් 350ට නැඟ ඇත (සති 6ක් තුල රුපියල් 150ක වැඩිවීමක්!).  මේ මස අවසන් වීමට පෙර ඩොලරය රුපියල් 400 පසු කරනු ඇද්ද?

පොලී අනුපාත ඉහල දැමීමෙන් මේ ප්‍රශ්ණය (උද්ධමනය් සහ රුපියල් කඩා වැටීම) විසඳිය නොහැක්කේ බැංකු වල ගතානුගතික අදායම් මාර්ග ඇහිරී ඇති නිසාය. ලංකාවට තදබල ඩොලර් හිඟයක් ඇත; මෙය විශේෂිත වූ තත්වයකි.

ඩොලර් නොමැති නිසා බැංකු වලට L/C  විවෘත කර විදෙස් බැංකු සමඟ ව්‍යාපාරික ගණුදෙණු කල නොහැක. මෙය බැංකුවල ප්‍රධානතම ආදායම් මාර්ගය අහිමි වී යාමකි. කොවිඩ් නිසා බැංකු වලින් ණය ගෙන දැන් නොගෙවා සිටින බොහෝ දෙනෙකි.  සමහරු අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජනය ගනිති. රජය පරාටේ ඉඩම් විකිණීම් නවතා ඇත. ලිසිං කරන ලද වාහන සීස් කිරීමද දැන්  තහනම්ය.

රජය බැඳුම්කර වැඩි හරියක් විකුණා ඇත්තේ අපේ බැංකු වලටය. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගෙන ඇත්තේ ද රටේ බැංකුය – පුද්ගලික බැංකුද ඇතුලත්ව (ප්‍රසිද්ධ සමාගම් සහ සාමාන්‍ය ජනතාවද වේ). මේවා කල් පිරෙන විට බැංකු වලට ගෙවීමට රජයට ආදායම් තිබේද?  රජය සියළු ණය ගෙවීම් තාවකාලිකව නතර කරන බව දැනටමත් දන්වා ඇත.

පාරිභෝගිකයනට සේවා සපයා බැංකු සුළුවෙන් මුදල් අය කරගනී. සමහරවිට ඉතා අසාධාරණ ලෙස බැංකු පාරිභෝගික ගිණුම් වලින් මුදල් කපා ගනී.  මෙවැනි දේවල් වලින් පමණක් බැංකු පවත්වා ගැනීමට නොහැක.

ලෝකයේ සෙසු බැංකු හා සසඳන කල අපේ බැංකු කවදත් අති විශාල ලාභ ඉපැයූ බැංකු නොවේ. අපේ ප්‍රධාන බැංකුවක් වසරකට රුපියල් බිලියන 4ක ලාභ උපයන විට (ආර්ථිකය හොඳ කාලයේ), ඕස්ත්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් වසරකට අඩු තරමින් ඩොලර් බිලියන 8ක ලාභයක් උපයයි.  

මහ බැංකුව විසින් පොලී අනුපාත වැඩි කරන ලද නිසා දැන් ස්ථිර තැන්පතු වලට 14% – 23% දක්වා පමණ පොලී ගෙවීමට බැංකු/මුල්‍ය ආයතන ඉදිරිපත් වී සිටි. සල්ලි තිබෙන පාරිභෝගිකයන් වැල නොකැඩි ගොස් මේ නව තැන්පතු අරිත්.  මේවා කල් පිරෙන විට, ගෙවීමට ආදායම් අහිමි වී ඇති බැංකු වලට මුදල් සංචිත තිබේද?   

පාරිභෝගිකයන් ඉල්ලු ඕනෑම විටක ඔවුන්ගේ රුපියල් දීමට බැංකු බැඳී සිටි – අපොහොසත් වුවහොත් එම බැංකු කඩා වැටිය හැක. ආජන්ටිනාවේ සිදු වුයේ එයයි. එම රටේ බිය පත්වූ ජනයා එක් වරම බැංකු වලට ගොස් තමන්ගේ මුදල් ඉල්ලා සිටියහ. 

කබ්රාල් මහතා බැංකු ද්‍රවශීලීව තබා ගැනීමට නිරන්තරයෙන් ඒවාට මුදල් නිකුත් කළේය. එය හොඳය. නමුත්, රජය දැන් මුදල් මුද්‍රණය කිරීමද නවතා ඇත. ඒ නිසා මහ බැංකුවට දුර්වල බැංකුවලට උදව් කිරිමට නොහැකි වනු ඇත.

මෑතකදී ප්‍රමුඛ බැංකුව, ගෝල්ඩන් කී, ETI, සක්විති, දඬුවම් මුදලාලි කඩා වැටුනේ ඔවුන් පොරොන්දු වූ අධික පොලිය පාරිභෝගිකයන්ට ගෙවීමට නොහැකි වූ නිසාය. අපේ බැංකු වලට මේ තත්ත්වය උදා නොවේ යයි උදක්ම ප්‍රාර්ථනා කරමු.

අපේ විදේශ ණය භරිත භාවය ඩොලර් බිලියන 60ක් පමණ වේ (මෙය සමහරවිට මිට වඩා අඩු හෝ වැඩි විය හැකියි). මෙය ණය/GDP අනුපාතය අනුව බලන කල අති ධනවත් ඕස්ත්‍රේලියාවටත් වඩා වැඩිය.

මෙය අති විශාල ණය කන්දකි. ඉදිරියේ පරම්පරා 5ක් දිගටම  ගෙව්වත් මෙවැනි අති විශාල වූ ණය කන්දක් (පොලිද එකතුවේ) අපට ගෙවා නිම කල හැකි වේද?

මේ ණයට ගත් මුදල් වලින් අප ඒ හැටි කරපු දෙයක්ද නැත. ණය ගන්නේ නම් ඒවායින් රටට ඍජු ඩොලර් ප්‍රතිලාභ ලැබිය යුතුය.

අප ණය ලබා ගෙන තේ, පොල්, රබර්, කුරුඳු  කර්මාන්ත, ඇඟලුම් කර්මාන්තය, ධීවර කරමාන්තය, අපනයන කෘෂිකර්මය, සුළු ව්‍යාපාරිකයන් සඳහා වූ මයික්‍රෝ ලෝන් ලබාදීම, කුඩා අපනයන කර්මාන්ත වැනි ආයෝජනය සඳහා යෙදවුයේ නම් ඒවා රටට ඍජුව ඩොලර් උණන ආකර වේ.  නමුත් අප කලේ කුමක්ද? කැලෑ/පරිසරය කපා විනාශ කර, වනජීවින්ට යන එන මං නැති කර  අධිවේගී මාර්ග රට පුරා ඉදි කළෙමු. දැනුත් ඉදි කරන්නෙමු. නැව් නොඑන වරාය, අහස් යානා නොඑන ගුවන්තොටුපොළ, මහා කැලය මැද ක්‍රිකට් පිටිය, රන්මිණිතැන්න, කිසිම තේරුමක් නැති නෙලුම් කුළුණ වැනි රටට වැඩකට නැති දේ සඳහා මේ ණය  වියදම් කළෙමු. මේවායින් එක ඩොලරයකවත් ඍජු ප්‍රතිලාභ රටට නොලැබුණා විය හැකියි. ගත් ණයෙන්ද බොහෝමයක් අල්ලස්, දුෂණ, කොමිස් වැනි මගඩි වලින් පාලකයෝ ගසා කෑහ.

බංකොලොත්භාවය

අපට අපේ ණය ගෙවා ගැනීමට බැරි නිසා ඉදිරියේදී ණය වාරික නොගෙවන බවට අප දැන් ලෝකයට දැනුම් දී තිබේ. මේවා දැන දැනත් අපට ඉන්දියාව සහ චීනය ණය සහ වෙනත් ආධාර ලබා දෙයි. අප මේ දෙරටට සදා ස්තුති වන්ත විය යුතුයි. ඔවුනුත් නැත්නම් අද මේ තරමටවත් රටේ පෙට්‍රල්, ඩීසල්, ගෑස්, භූමිතෙල්, බෙහෙත් වර්ග පමණක් නොව ඇතැම් ආහාර වර්ගද (පරිප්පු, පිටි, සීනි, සැමන් වැනි) නැත. ඔවුන්ද අප වැටී සිටින අසරණ තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා විය හැක (ඒවා එසේ නොවීමට දක්ෂ පාලකයෝ නම් වග බලා ගනිත්); ඒ කෙසේ වෙතත් ඔවුනට ස්තුති නොකිරීමට තරම් අප ගුණමකු නොවිය යුතුය.

ඩොලර් හෝ වෙනත් විදෙස් මුදල් වලින් විදේශයනට ගෙවිය යුතු වූ ණය වෙනුවෙන් පමණක් රජයට බලපාන ලෙසට, අප රටේ අධිකරණයක් මඟින්, වසර 3ක් හෝ අඩු කාලයකට, බංකොලොත්භාවයට පත් වීම සම්බන්ධයෙන් ලබා ගන්නා නිත්‍යානුකුල තීන්දුවක් පිළිබඳව රජය සොයා බැලිය යුතුයි. මින් වන වාසිය නම් අප දැනට භරිත වී ඇති ඩොලර් බිලියන 60 පමණ වූ සියළු ණය වලින් එක්වරම නිදහස් වීමයි. අනාගත පරපුර මේ ණය බරින් මුදාලීම අපේ යුතුකමකි. අපේ අමනකම් නිසා ඔවුන් දුක් විඳිය යුතු නැත.  

අප නිත්‍යානුකුල ලෙස බංකලොත් වූ පසු ණය දුන් රටවල්/ආයතන ඔවුන්ගේ පාඩුව දරා ගත යුතුය. විදෙස් ණය (ඩොලර්, යුරෝ, යුආන්, ඉන්දීය රුපියල්) ඉල්ලා එන ණයකරුවනට – විදෙස් රටවල්, විවිධ බැංකු, අපේ අධිකරණයේ තීන්දුවේ පිටපතක් ලබා දිය යුතුය.

අප නිත්‍යානුකුලව බංකලොත් වුවහොත් ලොව පිළිගත් බැංකු ඉන්පසු අපට ණය නොදෙනු ඇත – IMF, WB, ADB වැනි. ඒ  අවුරුදු 3ට හෝ අඩු  කාල සීමාවට පමණි. ඩොලර් බිලියන් 60ක ණය බරකින් එක්වර නිදහස් වෙන්න ලැබේ නම් මේ අපහසුතාවය කුමක්ද?

ඩොලර් බිලියන 20ක පමණ ණය කන්දක් ගෙවා ගත නොහැකිව 2013දී ඩිට්රෝයිට් නගරය විසින් මිචිගන්හි උසාවියකට ගොස් නිත්‍යානුකුල  බංකොලොත්භාවය ලබා ගතී (මාස 6ට). එම නගරයට ණය දුන් ණයකරුවන්ට ගෙවනු ලැබුවේ ඩොලරයකට ශත 14 -75 පමණ වූ මුදලකි.

අවුරුදු 3ට පසු (හෝ ඊටත් වඩා කෙටි කාලයකින්) නිත්‍යානුකුල බංකොලොත්භාවයෙන් ඉවතට අවුත් නව ජීවනයකින් යලි නැගිටි ඉදිරියටම යමු!

මෙම ලියුම්කරු ජාත්‍යාන්තර අධිනීතිඥවරයෙකි (ethos8@bigpond.com)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress