නිදහස් අධ්‍යාපනයේ පියාට අපි කෘථිගුණ සැලකුවේ මෙහෙමයි
Posted on October 22nd, 2022
සටහන :අසිරු වේදිත කරුණාරත්න. මුහුන පොතින් උපුටාගැනීමකි
දෙවියකු සේ පූජනීයත්වයට පත්විය යුතු වුවත් 1956 දි විශ්‍රාම යාමත් සමඟ කන්නන්ගර මහතාට ලබන්නෙ අභාග්‍යවත් කාලයක්. දේශපාලනඥයකු ලෙස තම පැවැත්ම වෙනුවෙන් තනතුර භාවිත නොකළ බැවින් විසි වසරකට අධික කාලයක් ව්‍යවස්ථාදායකය නියෝජනය කළත් ජිවිතයේ සැඳෑ කාලය ගෙවීමට තරම් හෝ ආර්ථිකයක් එතුමා සතු කරගෙන නොතිබූ නිසා 1961 ඔක්තෝබර් මස 26 දින කථානායක ආර්.එස්. පැල්පොල මහතා වෙත ලිපියක් යවමින් කන්නන්ගර මහතා ඉල්ලා සිටින්නේ තම ජීවිතයේ අවසාන කාලය ජීවත්වීම සඳහා තමනට පිං පඩියක් ලබා දෙන ලෙසයි.
‘රජයේ ඉහළම රාජ්‍ය සභාවල සියවස් කාලකටත් වැඩි කාලයක් සේවය කිරීමෙන් පසුව මා දැනට පත්වී තිබෙන අසරණ තත්ත්වයන් නිසා හදිසි මූල්‍යමය ආධාරයක් අපේක්ෂාවෙන් මේ ඉල්ලීම ඔබතුමා වෙත ඉදිරිපත් කරන බව ගෞරවාන්විතව දන්වා සිටිමි. ආයෝජනවලින්, නිවාසවලින්, ඉඩකඩම්වලින් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් මට කිසිදු පෞද්ගලික ආදායමක් නොලැබෙන බැවින් මා වසර ගණනාවකම යැපුණේ මගේ මිත්‍රයන්ගෙන් ලැබුණු පරිත්‍යාගවලිනි. මගේ සෞඛ්‍යය රැකගැනීම සඳහා කළ යුතු අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් ගෙවිය යුතු බිල්පත් දිනපතා ගොඩගැසෙමින් පවතී.
මිත්‍රයන්ගෙන් හා නැදෑයන්ගෙන් සහනාධාර යැදීම සියවසකින් තුනෙන් එකක් තරම් වූ කාලයක් තිස්සේ රජයේ ඇමැති තනතුරක් දැරූ මා වැන්නකුට කිසිසේත් තරම් නොවන බවට ඔබතුමා ද එකඟ වනු ඇත යනු මාගේ විශ්වාසයයි. රජයෙන් ක්ෂණික සහනයක් අපේක්ෂාවෙන් මගේ මේ ආයාචනය ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නේ අද මා මුහුණ පා සිටින අවාසනාවන්ත තත්ත්වය නිසා ය. එසේම සියවස් කාලකට වැඩි කාලයක් තිස්සේ මගෙන් කිසියම් ගෞරවයකට හා පිළිගැනීමකට ලක් වූ සේවයක් ඉටු වී ඇති බව ද මා අදහස් කරන නිසාත් ය.” යනුවෙන් එතුමා ඉතා අසරණව ඉල්ලා යවා තිබේ.
මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එතුමාට පාර්ලිමේන්තුවෙන් රුපියල් දසදහසක මුදලක් ගෙවූ අතර පසුව මසකට රුපියල් 500 බැගින් පින් පඩියක් පිරිනැමූ බවත් පසුව බලයට පැමිණි රජය යටතේ එ් මුදල රුපියල් 1000 දක්වා වැඩි කරන ලද බවත් සඳහන් වේ..
රටටම නිදහස් අධ්‍යපනය දී පාසල් ගොඩ නැංවුවත් සිය මිනිපිරිය පාසලට ඇතුළත් කිරීම සඳහා මිනිපිරිය සමග විශාකා විද්‍යාලයේ පෝලිමේ සිට ගෙන සිටීමට එතුමාට සිදුවූ බව සඳහන් වේ. අවසාන කාලයේ ජීවත්වීමට නිවාසයක් හෝ නොතිබුණු කන්නංගර මැතිතුමා අවසානය කාලය ගත කර තිබෙන්නෙ සිය දියණිය බැංකු ණයකින් ගත් නිවසක. රෝගී වූ එක් අවස්ථාවක ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් නොමැති වීම නිසා සිය මගුල් මුද්ද පවා උකස් කිරීමට එතුමාට සිදුවී තිබේ. එසේ ඉතා කනගාටුදායක ලෙස අවසාන කාලය ගෙවූ කන්නන්ගර මැතිතුමා 1969 සැප්තැම්බර් 23 වැනිදා කොළඹ මහරෝහලේදී මෙලොවින් සමුගන්නෙ අමතක කර දැමූ පුද්ගලයකු වශයෙනි.
නිදහස් අධ්‍යපනයේ ප්රතිඵලලාභීන් සේවය කළ රෝහලේ සාමාන්‍ය ඇඳක් මත එතුමා සිය දිවියේ අවසානය ගත කළත් ඒ නිදහස් අධ්‍යාපනයේ පියා බව කිසිවකු හෝ නොදත් නිසා කිසිවෙකු ඒ ගැන අවධානය යොමු කර නොතිබූ බවත් ඔහුගේ උපැස් යුවළ හා පාවහන් යුගලය කිසිවකු හෝ සොරකම් තිබූ බවත් එතුමාගේ මිනිපිරිය පසුකාලීනව සඳහන් කර තිබිණි. ලක්ෂ සංඛ්‍යාත දුගී දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට පැමිණ ජීවිතය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වූ, සැබෑ ලෙසම ජාතිය ගොඩනැඟූ විශිෂ්ට යුග පුරුෂයකුට ජාතිය කෘත ගුණ සැලකුවේ ඒ අයුරිනි.
සටහන :
අසිරු වේදිත කරුණාරත්න.