පරිහානියට යන සිංහල සංස්කෘතිය
Posted on February 5th, 2023

චානක බණ්ඩාරගේ

පළමුව, විශේෂ දෙයක් –

වසර 36ක ඇවෑමෙන්, දැන් – 2023, 13 පුර්ණ කර ඒ මඟින් ශ්‍රී ලංකාව නියතව දෙකට කඩන TNA මර උගුලට පාර්ලිමේන්තුවේ සිටින සියළු සිංහල ප්‍රධාන පක්ෂ (ජවිපෙද ඇතුළු) එකඟ වී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. 

අනාගත ජනාධිපතිවරණයකදී ද්‍රවිඩ චන්ද (20%), තම ගොඩට දමා ගත හොත් තම ජය නියතයයි සෑම ප්‍රධානම සිංහල දේශපාලන පක්ෂයක්ම සිතයි. ඒ නිසයි අද සැවොම ඉඩම්, පොලිස් බලතල උතුරු නැගෙනහිරට ලබා දිය යුතු යයි කියා අත ඔසවන්නේ. සිංහලයා ඉතා දුර්වල නිසා කිසි බියක් නැතිව ඔවුහු මේ දේ කරති.

ඉඩම් සහ පොලිස් බලතල උතුරට සහ නැගෙනහිරට කඩි මුඩියේ ලබා දීමට යාමෙන් අද සිංහලයා අතර බේධයක් හට ගෙන ඇත. මේ දෙයට විරුද්ධ වීමට බොහෝ සිංහලයනට අවශ්‍යය. නමුත්, ඒ නිසා තමන් ජාතිවාදී ලෙස හංවඩු ගැසේය යන බිය ඔහු/ඇය තුල දේශපාලනඥයන් විසින් ජනිත කර ඇත.

මේ ඇතිවී ඇති භයංකර තත්ත්වය ගැන සුමන්තිරන් ඇතුළු බෙදුම්වාදීන් ඉතා කුල්මත්ව සිටිති. ඔවුනට අවශ්‍ය ව තිබු සිංහලයන් අතර බෙදීම දැන් සිදුවී ඇත. එය පැතිරෙමින් යයි. මෙය කොතනින් ගොස් නතර වේ දැයි ඔවුන් තීව්‍රව බලා සිටිත්.

සිංහල අප මේ අසාධාරණ, ජාතීවාදී  බලය බෙදීමට එකාවන්ව විරුද්ධව, එම යෝජනාව නිය පොත්තෙන් කඩා දැමිය හැකි මේ මොහොතේ කඩා දැමීමට කටයුතු කල යුතුය.

ප්‍රශ්ණය අනවශ්‍ය ලෙස ඔද්දල් නොකර ගත යුතුය.

ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට විරුද්ධව අතිගරු මහා නායක හිමි වරුන් දක්වන ලද විරෝධය සුළු පටු එකක් නොවේ. උන්වහන්සේලා ස්වකීය අභීත නාදය මේ පිළිබඳව නංවා ඇත.

ඉදින්, අපේ අතිගරු මහා සංඝරත්නය අපහට පෙන්වන මාර්ගයේ ගොස් රටේ ඒකීය භාවයට එරෙහි වූ මේ මර උගුලෙන් ඉතා ඉක්මනින් මිදෙමු. ඒ සඳහා අප සැවොම ඒක රාශි වෙමු.

සිංහල ජාතිකාණුරාගී  ගීත, සිංහල නැටුම් ආදිය

 මේ සිංහල අපගේ රටයි, හෙළ ජාතික අභිමානේ, සිංහල ජය ගීත හඬට’,  තුන් සින්හලයම නෑදෑයෝ – මෙවා එදා ශ්‍රී  ලංකා ගුවන් විදුලියේ සහ රූපවාහිනියේ රැව් පිළිරැව්  දුන් ගීතයි.  හැදෙන ළමුන්, යෞවනයන් නිතර මුමුණනු ලැබු ගීතයි.  අද වැඩිහිටියන් එදා පාසැල් යන අවධියේ ප්‍රසංග වලදී අභිමානයෙන් හඬ දී ගැයූ ගීතයි. මේවා ඉතා මනහර ගීතය. නමුත්,  අද මේවා අහන්නවත් නොලැබේ.  නැත්නම්  ප්‍රචාරය  කරන්නේ ඉතා අඩුවෙනි.  අහක දමා ඇති මෙවන් සිංහල ජාතිකාණුරාග ගීත ගණනාවකි.  

පිට දීප දේශ ජයගත්තා ආදී සිංහලුන්’ ගීතය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී  සමයේ පවා ගුවන් විදුලියේ වාදනය වූ බවත් අද එය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වාදනය නොවන බවත් මිතුරෙක් මේ ලියුම්කරු සමඟ පැවැසීය.  එහි සත්‍ය අසත්‍ය භාවය ඔහු නොදනී.

මේවා  ප්‍රචාරය  කිරීමට බියවී ඇත්තේ බොහෝදුරට බෙදුම්වාදී අදහස් දරන මන්ත්‍රීන් සහ නොයෙක් බෙදුම් වාදයට උඩ ගෙඩි දෙන්නන්  විසින් කරන පැමිණිලි නිසාය.

 දෙමළ සහ මුස්ලිම් රුපවාහිනි/ගුවන් විදුලි නාලිකා වල විකාශනය වන සිංදු සහ වෙනත්  වැඩසටහන් පිළිබඳව දැඩි නියාමනයක් පවතී දැයි නොදනිමි.

ද්‍රවිඩ /මුස්ලිම් බෙදුම්වාදී/අන්තවාදී  ප්‍රකාශ ගැන ඒ පිළිබඳව දන්නා සිංහලයෝ පැමිණිලි නොකරති; මෙය වැරදිය.

අද සෑම දෙනාම වාගේ අගය කරන්නේ ඉන්දියන් – හින්දි/දෙමළ  හෝ බටහිර තනු අනුව නිපැයෙන සිංහල ගීත බව පෙනී යයි.  ශ්‍රී ලංකාවට – සිංහල බසට උරුමවූ සංගීතයෙන් ගී ගැයූ සුනිල් ශාන්තයන්,  අයිවෝ ඩෙනිස්, දේවානන්ද වෛද්‍යසේකර, ශාන්ති ගීතදේව වැන්නගේ  ගීත අද මුළුමනින්ම අමතක වී ගොසිනි.  ඒවා අතිශය රසබර,  මනා පදවැල් වලින් හෙබී ගීතය.

අද ශ්‍රී  ලංකා ටික්ටොක් හි  මුලිකවම ඇත්තේ නුතන තරුණියන්ගේ විකාර නැටීම්ය.  වෙනත් රටවල අය  ධනාත්මක,  අගයක් ඇති ටික් ටොක් නිර්මාණ ඉදිරිපත් කරත්.

අපේ තරුණයෝ නව සංගීත නිර්මාණය කිරීමට මැලි වී සිටිති.  ඔවුන්ගේ සිත යන්නෙම හින්දි, දෙමළ සින්දු කොපි කර තම නිර්මාණ බිහි කර ගැනීමටය. 

රැප් සංගීතඥයෝ කරන්නේද කොපි කිරීමකි – අපේ පැරණි වටිනා ගීත රැප්, හෙවි මෙට්ල්, බයිලා ආකාරයට වෙනස් කර ගායනා කරන්නන් කරනුයේ සමාව නොදිය හැකි වරදකි.

අපේ ධන්නෝ බුදුන්ගේ යන  මහාර්ග සිංහල ගීතයද  රැප් කර අසු විය. අපේ වටිනා, ඉපැරණි ගීත රැප් නොකරන මෙන් අපට මේ අයගෙන් බැගෑපත්ව ඉල්ලා සිටීමට සිදුවී ඇත.

ඔවුන් නව නිර්මාණශීලී භාවයක් නැති අයය.

දැන් බටහිර ගීත තාලද (විශේෂයෙන්ම ඉංග්‍රීසී) කොපි කර සිංහල සින්දු හදන්නෝ වෙත්. 

උසස් ස්වතන්ත්‍ර සිංහල නිර්මාණ බිහිනොවෙනවා නොවේ; නමුත් දැන් ඉතාම  අඩුය.

විවිධ සුපර් ස්ටාර්, ඩ්‍රීම් ස්ටාර් සංදර්ශනවලට එන ගායකයෝ ගයන්නේද 60/70/80 දශකයේ ගීතයි. 

මේවා මෙහෙයවන රුපවාහිනි නාලිකාවලටද අවශ්‍ය කුමන හෝ දෙයක් තම ප්‍රේක්ෂකයනට මුදා හැර මුදල් හම්බ කිරීමටය. රටේ සංස්කෘතිය, අනාගතය ගැන ඔවුන් නොසිතයි.

සමහර ‘….. ස්ටාර්’ රුපවාහිනී සංදර්ශනවලට කොළඹට පිටිසර ගම් වලින් ගෙන්වා ගන්නා යුවතියෝ නැවත ඒ අයගේ ගම් වලට යන විට ඔවුන්ව අන්තිමටම සංකර කර අහවරය.

ඇතැම් රුපවාහිනි නාළිකා වලට අපේ සිංහල සංස්කෘතිය, සභ්‍යත්වයට ඉතා සුක්ෂම ලෙස, කිසිවෙකුටත් නොදැනෙන සේ පහර ගැසීමේ ද්වේශ සහගත අභිප්‍රායන් ඇත. රාවණා වැන්නන් ප්‍රචලිත කර ඉතා පැහැදිලි, පිරිසිඳු,  හොඳින් ග්‍රන්ථාරූඪ කරන ලද අපේ  ඉතිහාසය අවුල් කිරීමට ඔවුනට අවශ්‍ය ඒ නිසාය.

සිංහලත්වය, බෞධත්වය නැංවීම සහ වැඩි දියුණු කිරීම  සිය තේමාව කර ගත් එකදු ප්‍රධාන රූපවාහිනී නාලිකාවක් වත් නැති තරම්ය (රජයේ ඒවා පවා කලින් වසර 30 – 40ට වඩා අද ප්‍රමිතියෙන් බොහෝ පහළ බැස ඇත). 

විවිධ අයහපත් බලපෑම් නිසා අපේ සිංහල සංස්කෘතියේ ඉදිරි ගමනක්/වැඩි දියුණු වීමක් සිදු නොවන බවයි පෙනෙන්නේ.

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සංගීත/නැටුම් අංශ, මහනුවර නිස්කෝ විදුහල ආදී ආයතන යහපත් දේ කිරීමට උත්සහ ගන්නා බව පෙනේ. ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශක සංගමයද අපේ සිංහලත්වය ආරක්ෂා කිරීමට වැඩ කිරීම සතුටට කරුණකි.

එදා මෙම ලියුම්කරු මෙන්, පාසල් සංදර්ශන වලදී බොහෝ ළමෝ තමන්ගේම ගීත/නැටුම් නිර්මාණය කළහ.  බොහෝ  කාලයක් පුරුදු  පුහුණු වී, මහන්සි වී තමන්ගේම නිර්මාණයන්  එළි බට කළහ.

එයින් අප ලැබුවේ කිව නොහැකි තරම් ආශ්වාදයකි. තමන්ගේම නිර්මාණයක් එලි දැක්වීමට ලැබීම ගැන අප ගැනම ඇතිවූ ආත්ම ගෞරවයකි; අපගේ ආත්ම විශ්වාසයයේ  වැඩි දියුණු වීමකි.

ඒ සොඳුරු මතකය අප තුල සදා පවතිනු ඇත.

එදා පාසැල් සංදර්ශන වල නව ස්වතන්ත්‍ර නාට්‍ය, පැල් කවි, තමන්ගේම සින්දු,  කථා, සිනහමය වැඩ සටහන් වැනි දේ තිබුණි. අද බොහෝ දුරට දක්නට ලැබෙන්නේ විවිධ උපකරණ, ආයිත්තම් (කුළු, දෑකැති, වට්ටි ආදී) සහිතව ප්‍රසිද්ධ ගීත වලට, ගීත තාලවලට නටන ලමෝය.

අද පාසැල් සංදර්ශනවල  ප්‍රසිද්ධ පැරණි ගීත, හින්දි ගීත (දැන් දෙමළ ගීත පවා) පසු බිමේ වාදනය කර විචිත්‍ර, ව්‍යෛවර්ණවත් ඇඳුම් ඇඳ ගත් ළමුන් ඒ ගීයට නැටීමයි දක්නට ලැබෙනුයේ. මෙයින් ළමුන්ගේ නැටුම් හැකීයාව ඔප් නැංවූනත් නව ගී ලිවීමේ හෝ ගැයීමේ කුසලතා වර්ධනයක් සිදු නොවේ. 

නිර්මාණශීලී බව කෙනෙකුගේ ඔප් නංවා වැඩි දියුණු කල හැක්කේ ඒ තැනැත්තාගේ කුඩා අවධියේදීය. දැන් එවැන්නක් සිදු වන බවක් නොපෙනේ. පාසැල් ගුරුවරු මේ ගැන ඉතා සැළකිලිමත් විය යුතුය.

දැන් වැඩිහිටියෝද, ප්‍රසිද්ධ නළු නිළියෝද මේ දේම ප්‍රසිද්ධ වේදිකාවල කරත්.  එහි කිසිම අළුත් දෙයක් නැත – ඔවුන්ගේ අළුත් නැටුම් විදි හෝ අළුත්, දර්ශනීය  ඇඳුම් හැර.

සංගීත/ගීත  තාලයකට නැටීමට ඕනෑම කෙනෙකුට වාගේ පුළුවන. වැදගත් වන්නේ තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණ ඉදිරිපත් කිරීමයි.

ඒවා අසාර්ථක වුවත්, තමන්ගේම දෙයක් (නිර්මාණයක්) නේද යන ආඩම්බරය ඒ තැනැත්තා තුල සදා කල් පවතී.

එදා ගුවන් විදුලියේ හඳ මාමා වැඩසටහනට පැමිණි ළමෝ ක්ෂණිකව නව නිර්මාණ ඉදිරිපත් කළහ.

අමරදේව, වික්ටර් රත්නායක, නන්දා මාලිනි, සනත් නන්දසිරි, මිල්ටන් මල්ලවාරච්චි, ගුණදාස කපුගේ, අබේවර්ධන බාලසුරිය, දයාරත්න රණතුංග, අමරා රණතුංග, මාලිනී බුලත්සිංහල, ත්‍යාගා N එඩ්වර්ඩ්,  හෙන්රි කල්දේරා, ප්‍රියා සුරියසේන, ෆ්‍රෙඩී සිල්වා, MS ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස්,   හින්දි කොපි කෙසේ වෙතත් වෙනත් සිංහල ගායකයෙකුගේ ගීතයක් වත් නොගැයුහ.

අපේ පාරම්පරික නැටුම් කළාවටද කණ කොක් හඬ ඇසෙන බවක්  පෙනේ.   ඒවාද අංග රචනයෙන්,  ඇඳුම් වලින් අඩ නිරුවත්  බවක් සහ දැඩි සංකර  බවක් දැන්  දක්වයි.  සමහර උඩරට නැටුම් ශිල්ප/ශිල්පියෝ වේදිකාවේදී දෙතොල් සිප ගැනීමට ඉතා ආසන්න වූ නැටුම් දර්ශන ඉදිරිපත් කරති.  මේවා අපේ සංස්කෘතියට,  සම්ප්‍රදායට අතිශයින්ම විරුද්ධය. වඩාත්ම කණගාටුවට කරුණ වන්නේ මෙම නැටුම් අධ්‍යක්ෂණය කරන්නේ මේ රටේ නම ගත් ප්‍රමුඛතම නැටුම් අධ්‍යක්ෂක වරුන්  වීමය. ඔවුන් බොහෝ විට නටන්නේ මැති ඇමතිවරු ඉදිරියේය. එක් සංදර්ශනයක් සඳහා ඔවුනට රුපියල් ලක්ෂ/කෝටි ගණන් මුදල් ගෙවනු ලැබේ.

විදේශ සංචාරකයන්  පැමිණෙන්නේ බටහිර හෝ ආසියාකරණය වූ අපේ උඩරට හෝ පහත රට නැටුම් බැලීමට නොවේ.  සමහර අංගන දැක ඔවුහු පුදුම වෙති, මන්ද ඔවුන් බලාපොරොත්තුවූ ආවේනිකත්වය (originality) සහ අව්‍යාජත්වය (authenticity) ඒවායේ නැති වීමයි.

එදා සිටි සුරභා, අමුණුගම, පුංචි ගුරා, ගුණයා වැනි අතිශයින් දක්ෂ උඩරට නැට්ටුවෝ අදත් අපට සිටිති. ප්‍රශ්ණය නම් ඔවුන්ව හරි මඟට දැමීමට, නිවැරදි මඟ පෙන්වීමක් දීමට හොඳ නැටුම් ආචාර්යවරුන් ගේ හිඟ කමය.

මැක්ඩොනල්ඩ්ස්, පීට්සා හට්, බර්ගර් කිං

මැක්ඩොනල්ඩ්ස්, පිඩ්සා හට්, බර්ගර් කිං  ආදිය සමඟ එන්නේ නව කෑම වර්ග පමණක් නොවේ. අපේ ඉපැරණි උසස් ශිෂ්ටචාර වලින් පරිබාහිර වූ අමුතු, නව පන්නයේ බටහිර සංකර සංස්කෘතියක් ඒවා සමඟ පැමිණේ. 

අද මුළු ආසියාවම මැක්ඩොනල්ඩ්ස්  සංස්කෘතියට යටවී හමාරයි – චීනය පවා.

මෙවැනි ස්ථානවලට ගොස් එවැනි ආහාර ගත්තාට කමක් නැත. නමුත්, ඒවාට සහ එකී අපට නුහුරු, නුපුරුදු  සංස්කෘතියකට වහල් වී අපේ දේ අත් හැරීමයි ප්‍රශ්ණය.

මේවායේ දෙනු ලබන්නේ ඇබ්බැහි වෙන කෑම වර්ගය. නිරන්තරයෙන්  චිප්ස්, බර්ගර්, බේකන්, චීස්  කෑමෙන්;  කෝක්,  පෙප්සි, ෆැන්ටා  බීමෙන්, දියවැඩියාව වැළඳගත් කුඩා ළමුන් පවා වෙත් – සෑම ජාතියකම.

සොසේජ්, බේකන් වස වැනිය; ඒවා පදම් කල මස්වේ. කොත්තු මී, ‘රයිස්’, පිඩ්සා, ෆ්‍රෙන්ච් ෆ්රයිස්, චිකන් නගට්ස්, නචෝස්, ඩොල්ෆින් කොත්තු  රස කර කර අප කන්නෙමු. මේවාද වස වැනි වේ. සමහර ස්ථාන මේවා පිළියෙළ කිරීමේදී රස කාරක, ඩයි වර්ග, අජිනමොටෝ  අඩංගු කරත්. මේවා නිතර කන අයය මහරගම අපේක්ෂා රෝහලින් වැඩි ලෙසම නතර වනුයේ.

උදයට තම දරුවනට බේකන්, සොසේජ් කවන මවු වරුන් ඒ අයට කුරහන් රොටි, කඩල, මුන් ඇට, කොළ කැඳ, බෙලි මල්, රණවරා, ගොටුකොළ, පලතුරු යුෂ බීම කුඩා කාලයේදීම පුරුදු නොකිරීමයි ප්‍රශ්ණය.

රටට සිදුවෙන විපත් ගැන වගේ වගක් නැති සිංහලයෝ

කොරෝනාවට පෙර කාලයේ සවස් භාගයේ මේ රටේ මත්පැන් බිම ශාලා මත්ලොලින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරි තිබුණු බව ඒ පිළිබඳව දන්නා අයට මතක ඇත. දැන් කොරෝනා අවසන් වී නැවතත් ඒ තත්ත්වය ක්‍රමයෙන් ඇතිවෙමින් පවතී. මත්පැන් නිෂ්පාදක සමාගම් මත්පැන් මිල පහත දමනුයේ ද මේ අරමුනෙනි.

මේ අය හොඳින් මත් වෙන්න බී ගෙදර ගියේ බොහෝ විට අව සිහියෙනි.  පසුදා උදෑසන අවදිව වැඩට ගොස් එදින සවස නැවත බීම සැලකට ගොඩ වුහ.  මේ අයගෙන් බහුතරය (බීම ශාලාවල කාලය ගත කරන අය) 80%ට වඩා වුයේ සිංහලයන් බව පැවසීම අතිශෝක්තියක් නොවේ.

මේ රටේ වැඩිපුරම මිනීමැරුම්/අපරාධ  සිදුවන්නේ සිංහලයන් – සිංහලයන් අතරය.  වැඩියෙන්ම මත් ද්‍රව්‍ය, මත්  කුඩු පානයට ඇබ්බැහි වී ඇත්තේ සිංහලයෝය.  නමුත් එම ජාවාරම් වැඩිපුරම කරන්නේ අන්‍ය ජාතිකයෝය.  මේ රටේ සිරකරුවන්ගෙන් වැඩි දෙනා සිංහලයෝය.  එම ප්‍රතිශතය 70% ට වඩා බොහෝ වැඩිය.

අරක්කු/බියර්, වයින්  වැනි මත්පැන් නිතරබොමින් ගැහැණු/පිරිමි  කුකුල්/ඌරු මස් කමින්, බයිලා/හිප්හොප් ගායන තාල වලට නටමින් ඉතා සැහැල්ලුවෙන් සිටිනා ජාතියක් ලෙසටයි සිංහලයන් දැන් බොහෝ දුරට පෙනෙන්නේ.  ඔවුහු තමන්ගේ සහ තම පවුලේ අයගේ අභිවෘධිය ගැන පමණක් සිතති.  රට ගැන, රටේ අනාගතය ගැන නොසිතති.   පාලකයන් තමන්ට උවමනා ලෙස මුදල් හොරකම් කරමින්, ඉතා අකාර්යක්ෂම ලෙස රට පාලනය කරමින් රට තව තවත් අඝාදයට ඇද ගෙන යාම ගැන ඔවුනට එතරම් තැකීමක්  නැත.  මන්ද, එවැනි උසස් තැන් වලට පැමිණියහොත් ඔවුන් බොහෝ දෙනෙක්ද හැසිරෙන්නේ ඒ අයුරින්ම හෙයිනි.  

එදා, අප ගුරුවරුන්ට වැඳ ඔවුන්ගේ ආශිර්වාද ලබා ගත්තෙමු.  අප ගුරුවරුන්ට ගරු කළෙමු.  ගුරුවරු ගෞරාන්විතව ඔවුන්ගේ රාජකාරිය කළහ.

අද, ලෝක ළමා දිනය දා ස්ත්‍රී  ගුරුවරු තම පන්තියේ ගැහැණු ළමුන් සමඟ බයිලා පදවලට එක පදමට නටති.  ඔවුන් නටන ගීතය – ‘මේ මධ්‍යපානේ  බීමේ ජොලිය ගෑනු නොදන්නේ….. ගෑනු නොදන්නේ’!

ව්‍යංගාර්ථයෙන්, එම පාසලේ ගැහැණු ළමුන්ට එම පාසැලෙන්  දුන් පණිවුඩය වූයේ  මත් පැන් හොඳ බවත්, ගැහැණුන්ද ඒවා බිව යුතු බවත්ය.

නැත්නම්,  එදා නැටීමට එම ගීතයම තෝරා ගත්තේ ඇයි?

ඇතැම් තැන් වල ගුරු – ගෝල නැටුම් බලා සිටින කාන්තා පොලිස් නිලධාරින්ද පැමිණ යුනිෆෝර්මය පිටින්ම ඒ අය සමඟ නටත්.

පසුව, ගුරුවරු සමඟ නටන දරුවන්ට විශේෂ වැඩි සැලකිල්ලක් සහ එසේ නටන්න බැරිව පැත්තකට වී සිටින සිසුවාට වෙනත් විධියක සැලකිල්ලක් එකී ගුරු භාවතාගෙන් නොලැබෙන්නේ යයි කාට කිව හැකිද?

දරුවන් තම දෙමව්පියනට වැඳ ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම පවා ඇතැම් යු ටියුබ් නාලිකා විසින් විවේචනය කර තිබුණි.

ඉඩක් ලද ඕනෑම  මොහොතක ම නැටීමට සිංහලයා ඉතා දක්ෂ බව දැන් මුළු ලොවම දනීයි. ලොව දියුණු රටවල මෙවැනි නාඩගම් නැත.

කුමන දෙයක් කිරීමට වුවද කරන වෙලාවක්, පිළිවෙලක් ඇත.

උවමනාවට වඩා සන්තුෂ්ටිය සෙවීමට යාම නිසා අප සෞඛ්‍යම  වශයෙන්ද පිරිහී සිටිමු. බෝහෝ දෙනෙක් මැදිවිය ලඟාවිමට පෙර නිදන්ගත ලෙඩවලට ගොදුරු වී ගොසිනි.  

අවුරුදු 70ට ප්‍රථම ශ්‍රී ලාංකිකයා (සිංහලයා ඇතුළු වේ ) මිය පරලොව ගොසිනි.  ලොව දියුණු රටවල ජනයා දැන් වසර 100 පමණ තෙක් ජීවත් වෙත්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress