මැම්බර්ලා භාගයක් ගෙදර යැවූ සීමා නිර්ණය කමිටු වාර්තාව
Posted on April 11th, 2023

රජිත් කීර්ති තෙන්නකෝන්   

ඡන්දයෙන්තේරී පත්වන පළාත් පාලන නියෝජිතයින් (මැම්බර්) සංඛ්‍යාව 4714 ක් දක්වා සීමා වන සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව අද අගමැතිවරයා අතට පත් කර ඇත.  ඒ අනුව, 2017 දී 8771 ක් වුණු මන්ත්‍රී සංඛ්‍යාව අඩකින් පමණ අඩු කර ඇත.   

ලංකාවේ ගම් සභා ක්‍රමය පැවති යුගයේ මැම්බර් මහත්වරු 9000 ක් පමණ පළාත් පාලන නියෝජිතයින් ලෙස විය.  එය 2011 දී මෙම සංඛ්‍යාව 4484 කටසීමා කරනු ලැබීය.  2012 දී ජයලත් – රවී කමිටුව විසින් ඡන්දයෙන් තේරී පත්වන සංඛ්‍යාව 5092 ක්, සමානුපාතය තවත් 1500 ක් ද ලෙස සභික සංඛ්‍යාව 6600 දක්වා වැඩි කරනු ලැබීය. 

2017 කාන්තා නියෝජනය, හා සමානුපාතික නියෝජනය එකතු වූ එම සංඛ්‍යාව 8400 ක් දක්වා ඉහළ ගියේය. 2018 ඡන්දයෙන් ඕවර් හැන්ග් (එල්ලන ලද මන්ත්‍රී සංඛ්‍යාව ද ඇතුළුව) සභිකයින් 8771 ක් පත් විය.

අද මහින්ද දේශප්‍රිය සභාපතිවරයා විසින් බාර දී ඇති කමිටු වාර්තාව අනුව ඡන්දයෙන් පත්වන සංඛ්‍යාව 5092 සිට 2882 දක්වා පහත දමා ඇත. ඒ අනුව සමානුපාත ක්‍රමය ද එක්ව ඡන්දයෙන් තේරී පත්වන සංඛ්‍යාව 8400 සිට 4714 දක්වා පහත වැටෙන්නේය.   

මෙහි ව්‍යවහාරික අර්ථය ඊලඟ පළාත් පාලනය සඳහා පත්වන සමස්ත සභික සංඛ්‍යාව 4750 නොඉක්මවන බවය.  කාන්තා නියෝජනය 25% ක් ලෙස පවතිනු ඇති අතර, ඊලඟ ඡන්දයට පෙර තරුණ නියෝජනය පිළිබඳ යෝජනාව සම්මත වනු දැකීම මාගේ ප්‍රාර්ථනය යි.  

සමස්ත සීමා නිර්ණය කටයුත්ත මැයි 2 දින වන විට අවසන් වනු ඇත. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress