“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධ දේශපාලනඥයන් හදන්නේ යුක්තිය මෙහෙයුම දුර්වල කරන්න”
Posted on December 25th, 2023

By Mawbima

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන දේශපාලඥයන් ‘යුක්තිය’ මෙහෙයුම හෑල්ලුවට පත්කරන කුහක ප්‍රකාශ නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා හෝමාගම දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයේ පැවති වැඩසටහනකට‍ එක්‌වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;

මීට වසර එකහමාරකට පෙර විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවධියේදී මෙම අමාත්‍යාංශයේ වගකීම භාරගන්නා ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් ආරාධනා කළා. එකවර එය භාර ගැනීමට කැමැත්තක් නොමැති වුවත් අනෙකුත් මන්ත්‍රීවරුන්ගේත් ජනාධිපතිවරයාගේත් ඉල්ලීම පරිදි මෙම වගකීම මෙවර භාර ගැනීමට මම තීරණය කළා.

රට ම ගිනිගනිමින් පැවති ඒ අවස්ථාවේ අපට විශාල අභියෝගයක් පැවතුණා. රටේ නායකත්වයත් වෙනසක් සිදුවුණා. රට සාමකාමී කිරීමේ අභියෝගය අප හමුවේ පැවතුණා. ජනතාවට සුපුරුදු පරිදි ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය අපට පැවරුණා. කොළඹ නගරයේ කිසිවකුටත් ඇතුළු වීමට හැකියාවක් නොහැකි පරිදි විවිධ ගම් පිහිටුවා තිබුණා. රටට විදේශිකයන් පවා පැමිණියේ නැහැ. එවැනි තත්ත්වයක පැවති රට යළි ගොඩගැනීමට සිදුවුණා. ඒ අවස්ථාවේ රට තුළ විනයක් සහිතව සාමකාමීව සෑම දෙනාට ම ජීවත්විය හැකි වාතාවරණයක් සකස් කිරීම අපට පැවරුණා. අපහසුවෙන් නමුත් ඒ වගකීම අප ඉටුකළා. ප්‍රචණ්ඩත්වයෙන් සිදුකරන ක්‍රියාවන් තුළින් රටට හෝ තමන්ට යහපතක් සිදුනොවන බව අප විරෝධතාවේ නිරත වූ පිරිස් වෙත පැහැදිලි කර දුන්නා.

ඉන් අනතුරුව රට තුළ පැවැති විශාලම අභියෝගය වූ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්, අපරාධ දිගින් දිගට ම වර්ධනය වුණා. බොහෝ පොලිස් නිලධාරීන්ට පවා පහත් ලෙස සැලකීම දක්නට ලැබුණා. නමුත් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරමින් කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කිරීම පිළිබඳව ශක්තිය අප පොලිස් නිලධාරීන්ට ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු සහිතව වාර්තාවක් සකස් කිරීමට වත්මන් වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු කමිටුවකට මා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව දකුණු පළාතේ පැවති වැඩමුළු මාලාවකින් මේ කාර්යය ආරම්භ කළා. මෙහෙයුම්වල ප්‍රතිඵල ගැන මුළු රට ම මාධ්‍ය ඔස්සේ දැනුවත් වී තිබෙනවා. අපේ ප්‍රධාන ම ඉලක්කය වූයේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලය මැඩපැවැත්වීම සම්බන්ධයි. එවිට මේ උවදුර පාලනය කිරීමට හැකිවනවා. ඒ අනුව 4,665 දෙනෙකුගේ නම් ඇතුළත් ලේඛනයක් පොලිසිය විසින් සකස් කර තිබුණා. මෙහෙයුම් ආරම්භ කර සතියක් ඇතුළත ඒ අතරින් දහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. වැටලීම් 12,269ක් සිදුකර තිබෙනවා.

මිලියන 700කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය මේ යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු වාහන, ඉඩම්, රන් භාණ්ඩ, මුදල් ආදී වත්කම් මිලියන 294ක්‌ පමණ දේපොළ පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙපමණ දැවැන්ත මෙහෙයුම් ප්‍රමාණයක් සිදුකර තිබියදීත් මෙය මාධ්‍ය සන්දර්ශනයක් බවට ඇතැම් කුහක, ඊර්ෂ්‍යාකාර පිරිස් ප්‍රකාශ කරනවා. ඇතැම් දේශපාලනඥයන් පවා එලෙස ප්‍රකාශ කරනවා. එවැනි ප්‍රකාශ සිදු කරන්නේ පාතාලය මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ සම්බන්ධතා පවත්වන අයයි. ඒ තුළින් මෙම මෙහෙයුම් නතර කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ඉටුකරමින් සිටිනවා. ඇතැම් ආගමික නායකයන් පවා එවැනි ප්‍රකාශ සිදු කරනවා.

මෙම කටයුතු සිදුකිරීමේදී පෞද්ගලික තර්ජනයන්ට පවා මුහුණ දීමට සිදුව තිබෙනවා. කවර ආකාරයේ අභියෝගවලට මුහුණදීමට සිදුවුවත් කිසිදු බලවතෙකුගේ බලපෑමකට යටත් නොවී අඛණ්ඩව කරන බව ප්‍රකාශ කිරීමට මා කැමැතියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ජනාධිපතිතුමා ද නිරන්තරයෙන් ලබා දෙනවා.

මෙම මෙහෙයුම සිදුකිරීමට ජනතාවගේ සහයෝගයත් අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන පොලිස් නිලධාරීන් දිරිමත් කරන්න. අප සියලු දෙනාගේම සහයෝගයෙන් සහ දායකත්වයෙන් එය මැඬපැවැත්වීම අපහසු ඉලක්කයක් නොවෙයි. සමස්ත ශ්‍රී ලංකාවේ ම පොලිස් නිලධාරීන් දැඩි කැපවීමකින් මේ කටයුත්තේ නිරතව සිටිනවා.”

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක;

මෙම ජන හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා මෙම මත්ද්‍රව්‍ය උවදුර මර්දනය සම්බන්ධයෙන් අවශ්‍ය හැම දෙයක් ගැන ම සිතා බලා තිබෙන බවත් බව ප්‍රකාශ කළේය. මෙහෙයුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පූර්ණ වශයෙන් දැනුවත් වන බව ද පැවසූ රත්නායක මහතා මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මීට අදාළ සියලු ම තීන්දු තීරණ ගැනීමට අදාළ සියලුම රාජ්‍ය ආයතන සියල්ලේ සහාය ලබා ගැනීම සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණය වන වෙන ම ඒකකයක් ආරම්භ කිරීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටින බව ද පැවසීය.

මේ වෙනුවෙන් තව එක් කටයුත්තක් කරන්න තියෙනවා. ඒ මෙම කටයුත්තට සම්බන්ධ වෙනත් සියලු රාජ්‍ය ආයතනවල සහය ලබා ගැනීම. උදාහරණයකට රටින් පැනලා ගිය සැකකරුවන් සමග කටයුතු කිරීමේදී අධිකරණ අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතනවල සේවය අවශ්‍ය වෙනවා. ඔවුන් සියල්ල පහසුවෙන් සම්බන්ධ වන පොදු වෙන ම ඒකකයක අවශ්‍යතාව පවතිනවා. එය පිහිටුවීමට ළඟදී ම ජනාධිපතිතුමන් කටයුතු කරනවා යයි පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්;

ලංකාව පුරා පවතින ග්‍රාම නිලධාරි වසම් 14000කට ‍අධික ගණනක මේ වන විට ප්‍රජා පොලිස් කමිටු ස්ථාපිත කර තිබෙනවා. එහි මූලික ම අපේක්ෂාව ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දීමයි. ඒ හරහා සෑම ගමක ම පදිංචිකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු අප වෙත ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වසර හතළිහකට වඩා පැරණි පොලිස් වාර්තා තිබෙනවා. මේ වන විට විවිධ මත්ද්‍රව්‍ය වර්ග රාශියක් රටේ සෑම ප්‍රදේශයක ම පැතිර ගොස් තිබෙනවා. පාසල් පද්ධතියට පවා එය ඇතුළු වී තිබෙනවා. සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වූ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ වැඩසටහනක් රටට අවශ්‍යයයි. උපදෙස් අනුව දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍ය සහ පාතාලය පාලනය කිරීම පිළිබඳ මේ මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවා. මේ වන විට නාමලේඛනයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු කරනවා. එලෙස අත්අඩංගුවට ගත් විශාල පිරිසකගෙන් නීති ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මෙහෙයුමත් සමග මේ වන විට ප්‍රාදේශ මට්ටමේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ විශාල අඩුවක් ඇතිව තිබෙනවා.

එක් දිනකදී දකුණු පළාතේ පමණක් ලක්ෂ 1,300කට අධික අතිවිශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. අප එතැනින් නවතින්නේ නැහැ. මෙය සාර්ථක කර ගැනීමට නම් ජනතාව ද පොලිසිය සමග අත්වැල් බැඳගත යුතුයි. ඉතාමත් ආරක්ෂිතව සහ රහසිගතව ජනතාවට තොරතුරු ලබාදිය හැකි දුරකතන ඇමතුම් ක්‍රමයක් අප හඳුන්වා දී තිබෙනවා. ලංකාව පුරා පාතාල සාමාජිකයන් 1091ක් පොලිසිය විසින් නම් වශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඉන් 135ක පමණ පිරිසක් බන්ධනාගාරය තුළ සිටියදී ද අපරාධ මෙහෙයවනවා. මේ වන විට විෂය භාර අමාත්‍යතුමාගේ මැදිහත්වීම මත කටුනායක ගුවන්තොටුපොළ හරහා අපරාධ කර රටින් පළා යාම පිළිබඳ විශේෂ විමර්ශනය කිරීමේ කැමරා පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.”

පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර;

මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීමේ දීප ව්‍යාප්ත මෙම මෙහෙයුමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සුවිශේෂ කාර්යභාරයක් කරනවා. විශේෂයෙන් දකුණු පළාත් ගැන විශේෂ අවධානය යොමු කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් නීතිය හා සාමය බිඳවැටෙන අකාරයේ ක්‍රියාවන් පාලනය කිරීම එහි ප්‍රධාන ඉලක්කයක්. එහිදී රටින් පිටත සිට මෙම ජාවාරම් මෙහෙයවන අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මහජන ආරක්ෂාව විෂය භාර අමාත්‍යතුමා සහ වැඩ බලන පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන් සැලසුම් සකස් කර තිබෙනවා.”

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress