රටක සුප්‍රීම් උසාවියක්, අල්ලා ගත් කොටිවලිගයක්! (A Supreme Court’s nemesis: Nagananda Kodituwakku)
Posted on March 7th, 2024

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

මේ මොන තීන්දුවක්ද මට දැනුම් දීලවත් නෑ | නාගානන්ද කොඩිතුවක්කු | #short (youtube.com)

අන්ධ, නීතියේ දෙවඟන හා අන්ධ <සමහර>, පූසාරියෝ

ලෝකයේ ඇන්ග්ලෝ-ඇමෙරිකන් නීති ක්‍රමය පවතින රටවල් අතර ලංකාවේ සුප්‍රීම් උසාවියේ නඩුකාරවරුන් තුන් දෙනෙකු විසින් අල්ලාගත් කොටිවලිගයක් වශයෙන් නාගානන්ද කොඩිතුවක්කු (NK) මහතාගේ නීතිඥ ලැයිසම අහෝසිකිරීම පෙන්වාදිය හැකිය. ලංකාවේ තිබෙනවායයි කියන (බොරු) ප්‍රජාතන්ත්‍රවාදය හා (බොරු) නීතියේ ආධිපත්‍යය යන කතා ඉදිරියේ, උසාවි වලත් ලෝභ-ද්වේෂ-මානයෙන් පිරි පංචස්කන්ධ සිටින්නට හොඳටම ඉඩතිබෙන බව NK පිළිඹඳව සුප්‍රීම් උසාවියේ නඩුකාරයින් තුන් දෙනෙක් විසින්  ගත් තීරණයෙන් මොනවට පැහැදිලිවේ.

මෙම තීරණය අසාධාරණ (unjust/unreasonable), හිතුවක්කාර (arbitrary), ප්‍රතිවිරුද්ධ දෙපාර්ශයක් අතර සිදුවන ද්වන්ධ සටනක් ලෙස සිදු නොවූ (adversarial), නඩු විධිවිධාන සංග්‍රහ පටිපාටියට (procedural justice?) අනුකූලව සිදු නොවූ, හා ස්වාභාවික යුක්ති මූලධර්ම (principles of natural justice) අමු අමුවේම කඩා දමමින් දුන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ වැඩක් ලෙස, ලංකාවේ උසාවි ක්‍රමය ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්වන්නක් බව ඉතාමත් සරල ලෙස සිංහල භාෂාවෙන් සටහන් කිරීම නීති විද්‍යාව පිළිඹඳව යම්තම් හෝ දැණුමක් ඇති ලාංකිකයින්ගේ වගකීමකි, යුතුකමකි. ලංකාවේ සිස්ටම් චේන්ජ් කතාවට දොස්තර වෘත්තිය මෙන්ම නීතීඥ වෘත්තියද අනිවාර්යයෙන්ම ඇතුලත් වන මෙහිදී අමතක නොකල යුතු කරුණකි.

S.B.දිසානායක/රංජන් රාමනායක හා NK

උසාවියට අපහාස කරණවා යන බිල්ලෙක් ඉදිරියට දමා පුරවැසියෙකුට යම් අසාධාරණ උසාවි තීරණයක් පිළිඹඳව උසාවියටම චෝදනාවක් (නඩුකරයක්) ඉදිරිපත්  කිරීමට හෝ ඒ පිළිඹඳව යම් යුටියුබ් නාලිකාවක සාකච්චා කිරීමට හෝ අපක්ෂපාත විග්‍රයක් කිරීමට ඉඩක් නැත්නම්, ඒ රට බෞද්ධ රාජ්‍යයක්/සමාජයක් නැති දේශයකි (Buddhist jurisprudence?). මේ සඳහා ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ හෝ ජිනීවා වලින්, නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම් වැනි බයිලා කතා වල සහායක් ලංකා ජනයාට අවශ්‍ය නැති වුවත්, ඇමෙරිකාවේ නිතරම සිදුවන දෙයක් නම් උසාවි තීරණ විග්‍රහ කරමින් පුරවැසියන්, නීති ශිෂ්‍යයින් විසින්  දීර්ග ලිපි ලිවීමය. මේවා රටටත්, නඩුකාරයින්ටත් (continuing [adult] education) බෙහෙවින් ප්‍රයෝජනවත්වේ.

නීතිඥයින්ද බාබර්ලා මෙන් සමාජයකට අත්‍යාවශ්‍යය – ගාන්ධි

නීති වෘත්තිය යනු තවත් ජාවාරමක් නොවේද යන කාරණය මට ප්‍රත්‍යක්ෂ වූයේ මා නීතිය ඉගෙන ගන්නා කාලයේදී සිටමය. මේ නිසා මා සමඟ එකට ඉගෙනගත් මගේ මිතුරා (ජෝ සිල්වා) නීති විද්‍යාලයේ අධිපති වශයෙන් වෘත්තීයෙන් ඉහළට යද්දි නිති විද්‍යා ශිෂ්‍යයෙකු ලෙස දිගටම සිටීමට මා ක්‍රියාකලේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් නීති ක්‍රමයේ හැසිරීම ගැන විමසා බැලිමට මගේ සිත යොමුවිය (law in book and law in action; applied law and applied geography). ලංකාවට අදාලව මා ලියු පහතින් සඳහන් කර ඇති රචනා මේ පිළිඹඳ උදාහරණ කීපයකි.

1. LankaWeb – GIGO: garbage in à garbage out à = 19th Amendment (11/30/2018)

2. LankaWeb – Six lawyers and a monk: importance of impotence (1/22/2019)

3. LankaWeb – නීතියේ ආධිපත්‍යය නමැති සෙප්පඩවිජ්ජාව (9/15/2019)

4. LankaWeb – නීති පොතේ ඇති, එහෙත් රටේ නැති, ආධිපත්‍ය දෙකකට නැසෙන සුප්‍රීම් උසාවිය (5/10/2020)

5. LankaWeb – කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රීම් උසාවිය?  (4/25/2020)

6. LankaWeb – Council of legal education, a black-white citadel, embraces the English panacea! Part-2 (2/2/2021)

7. Empowering law students with an English language tool
by C. Wijeyawickrema, B.A (Hons.), LL.B., M.A., Ph.D. http://www.island.lk/2008/03/19/midweek3.html

8. Applied Law and Applied geography, Operational Geographer, March 1990.

9. Teaching Law and Geography, Journal of Geography, May/June 1991

10.Geography, Environment and American Law, (co-editors) University Press of Colorado, 1997

11. ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්‍රජාතන්ත්‍ර (නාස් ලණු) වාදය), ප්‍රථම භාගය, නියෝ ග්‍රැෆික්ස්, නුගේගොඩ 2023

නඩුකාරයෝත් මනුෂ්‍යයෝය!

සෝවාන් හෝ සකෘදාගාමී වූ නඩුකාරවරු නැත. ඔවුන් බෞද්ධ, ක්‍රිස්තියානි, බෝන්-අගේන්, ඉස්ලාම්, හින්දු, පෙන්තකොස්ත, නිරාගමික, කොල-නිල්-කහ පක්ෂවාදීන්, මාක්ස්වාදීන් හෝ සමරිසි සංගමිකයින් හෝ වියහැකිය. එමෙන්ම ඔවුන් සිත් පිත් නැති රොබෝලාද නොවේ. දේශපාලකයින් මෙන් නීතීඥයින්ද තමන්ගේ ඇවෑමෙන් පසු තම පුතාට හෝ දුවට තම බිස්නස් එක පවරාදීමට ආශාවෙන් නොසිටීද? රොමේස් ද සිල්වා තම පුතා ජනාධිපති නීතීඥයෙක්වූ විට දැමූ පාටිය වැන්නක් දමන්නට ආශා නැති ගමකින් ගමන ආරම්භකල නඩුකාරවරයෙක් නීතීඥයෙක් රටේ ඉන්නවාද?

ඇමෙරිකන් ක්‍රමය

Clarence Thomas’ Move in Donald Trump Case ‘Stunning’: Attorney (msn.com)

පෙඩරල් ආණ්ඩුවේ නඩුකාරයින් හැරෙන විට ඇමෙරිකාවේ කවුන්ටි හා ප්‍රාන්තවල සියළුම නඩුකාරයින් පත්වන්නේ මහජන චන්දයෙන්ය. (එපමණක් නොව රටේ ඇති කවුන්ටි 4000 ක පමණ නීති නිලධාරියා [District Attorney, ලංකාවේ ඇටර්නි ජෙනරාල්ට සමාන තම දිස්ත්‍රික්කය තුල නිතිය පණගන්වන තැනැත්තා] පත්වන්නේද චන්දයෙන්ය). මෙම නඩුකාරයින් තමන්ට චන්දය දුන් මිනිසුන් උසාවියට ආ විට ඔවුන්ට යන්තම් හෝ <අනුකම්පාවක්> දක්වන්නේ නැද්ද? ඇමෙරිකන් සුප්‍රීම් උසාවියට පත්කරණ නඩුකාරයින් කවුද යන්න සෑම ජනාධිපති චන්දයකදීම ප්‍රසිද්ධියේ සාකච්චාවන කරුණකි. බුෂ්ගේ නඩුකාරයින්, ඔබාමාගේ නඩුකාරයින් යනාදී වශයෙන් ඔවුන්ව හැඳින්වේ!

මොවුන් චන්දය ඉල්ලන්නේ  ඩිමොක්‍රැටික්/රිපබ්ලිකන් පක්ෂ දෙකෙන් හෝ ස්වාධීන අපේක්ෂකයෙකු හෝ ලෙසය. අතීතයේදි ෆ්‍රැන්ක්ලින් රුසවේල්ට් ජනාධිපති සමාජ ශුභ සාධක නීති ගෙනෙන විට සුප්‍රීම් උසාවිය ඊට භාධා කලවිට උසාවියේ නඩුකාරයින් සංඛ්‍යාව වැඩිකර තම ප්‍රතිපත්ති අනුමත කරණ නඩුකාරයින් පත් කරන බවට ඔහු තර්ජනය කලේය. ඉන්දියාවේ නේරුද ආරම්භක කාලයේ මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නේය. ලංකාවේ JR කලේ සුප්‍රීම් උසාවියේ නඩුකාරයින්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තමන් කැමති අයට තමන් ඉදිරියේ දිවුරුම් දීමට සැලැස්වීමය. මෙසේ තනතුර අහිමිවූ එක් අයෙක් නම් ජයා පතිරණ නඩුකාරයාය.

යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය දූෂණය කිරීම

ලංකාවේ ප්‍රථමවරට පක්ෂ දේශපාලකයෙකු සුප්‍රීම් උසාවියට පත්කලේ (1972) ෆිලික්ස් ඩයස් විසින් කුරුණෑගල ජයා පතිරණවය. ඇමෙරිකන් තානාපති කාර්යාලය හා අගමැතිවරු නඩුකාරයින් පත්කිරීම සම්බන්ධයෙන් කල ගණුදෙණු (deals), S. L.  ගුණසේකර මහතා විසින් තම ජීවිත කතා පොතේ (Lore of the law and other memories, 2011) සඳහන් කර ඇත.

1948 න් ඇරඹුණු කළු සුද්දන්ගේ පාලන සමයේදී, විශේෂයෙන් 1972 හා 1978 ට පසු දේශපාලකයින් විසින් නඩුකාරවරුන්ට කල හිරිහැර උසාවි ක්‍රමය කෙරෙහි මහජනයා තුල ඇති විශ්වාසයට හානි කලේය. ජනාධිපති ඉදිරියේ දිවුරුම් දීමට සැලැස්වීම හා නඩුකාරයින්ගේ නිවාස ඉදිරිපිට පෙලපාලියාමට පාක්ෂිකයින් උසිගැන්වීම ආණ්ඩුවේ පැත්තෙන් සිදුවිය. එක් අග්‍ර විනිශ්චය කරුවෙක් දෝෂාභියෝගයක් ගෙන ඒමට කලින් අස්වී රටින්ද පිටවී ගියේය. තවත් අයෙක් ජනාධිපති සමඟ ජාඩියට මූඩිය මෙන් සිට අන්තිමේදී තනතුරෙන් පහකිරීමට අසුවිය. නුසුදුසු අය සුප්‍රිම් උසාවියට, අග විනිසුරු කමට පත්කරනවාට විරුද්ධව ජාත්‍යන්තරයට පෙත්සම් පවා යැවූ අවස්ථා ලංකාවටම විශේෂය.

කොසොල් රජතුමාගේ සීන දාසැය

මේ වනවිට මුළු ලංකාවම කොසොල් රජතුමාගේ සීන දාසැය පෙන්වන රඟහලක් කෝලම් මඩුවක්/අපායක් වැනිය. දූෂණයෙන් තොර ප්‍රාණයක් සොයා ගැනීම පටාචාරා නොමළ ගෙයකින් අබ මිටක් හොයන්නට යනවා වැනිය. මෙහිදී නඩුකාර වෘත්තියට අල්ලස් දෙන්නේ දේශපාලකයාය. ඒ ඔවුන්ට විශ්‍රාම ගිය විට තානාපතිකම් වැනි  දේ දෙමින්ය. ඊට අමතරව දෙන වෙනත් සන්තෝසම් (perks) ක්‍රම එමටය. ශ්‍රී පවන් අගවිනිසුරු විශ්‍රාම ගියවිට බැංකුවක තනතුරක් දීමක් ගැන NK විසින් සඳහන් කර තිබුණා මට මතකය. එක්තරා වැදගත් ව්‍යවස්ථා නඩුවකදී ශ්‍රී පවන් නීතීඥ ගෝමින් දයාසිරි විසින් ඇසු ප්‍රශ්ණයකට පිළිතුරක් නොදී තම රාජකාරිය මඟහැරිය බව පසුව වාර්තාවිය. උසාවිය නිහඬයි යනුවෙන් වික්ටර් අයිවන් සැදූ චිත්‍ර පටිය හෝ සුගන්ධිකා ප්‍රනාන්දු විසින් එලිකල වෙරිවී මත්වූ නඩුකාරයාගේ හිසේ දෙහි ගාන කතා හෝ නිතර සිදුවන එහෙත් මහජනයාට දැනගන්නට නොලැබෙන කාරණය.

උසාවි දේශපාලනයට පටලවා ගැනීම

ලංකාවේ දැනට දක්නට ලැබෙන උපනතියක් නම් දේශපාලකයින් හා සිංහල බෞද්ධ විරෝධී හා දැන හෝ නොදැන රට කැඩීමට උල්පන්දම් දෙන දේශීය හා විදේශීය ngo ඇතුළු බලවේග උසාවි තීරණ වලට දේශපාලන <මුහුණුවරක්> දීමය. තම මතයට පක්ෂ යයි හිතෙන ආකාරයේ තීරණයක් දුන් විට උසාවිය වර්ණනාකිරීම හෙවත් උසාවිය තමන්ට ඇති එකම ගැලවුම්කාරයා යයි පැවසීමය. 

අධිකරණ පද්ධතියට ඇමෙරිකන් ඩොලර් බලපෑමක් තිබෙනවාය කියන අය බාර් ඇසෝසියේශන් එකට ලැබෙන ආධාර ගැන සැක උපදවන්නේය. තම රටේ අධිකරණ ක්‍රමයේ ගැටළු තිබියදී ලංකාවේ ගැටළු ගැන මැදිහත් වන්නේ ඇයිදැයි මොවුන් ප්‍රශ්ණ කරයි. නඩුකාරයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව දෙනවා යන චෝදනා සත්‍යද යන්න සැක සහිතය. කෙසේ වෙතත් තානාපතිවරු පවා නඩුකාරයින්ට බලපෑම් කරණ බව උදය ගම්මන්පිල විසින් වරක් පාර්ලිමේන්තුවේදී එලිකලේය.

සිංහල අරහං කොළඹ හා උතුරු නැඟෙනහිර නඩුකාරයින්

ලෝක මව් භාෂා දිනයේදී අගමැති දිනේෂ් විසින් චෝදනා කලේ 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කලත් මෙතෙක් සුප්‍රිම් උසාවිය සිංහලෙන් නඩුතීන්දුවක් ලියා නැති බවය. නීති විද්‍යාලය හා කලින් සිටි අධිකරණ ඇමති අලි සබ්‍රි, උඩ පැන පැන  ඉංග්‍රිසි භාෂාවට කරගැසීම සිංහල භාෂා ශිෂ්‍යයන්ට කරණ අසාධාරණයක් යන කරුණ වැදගත් වන්නේ ඉන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නට වැඩි පහසුකම් ඇති දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයින්ට වක්‍රව ලැබෙන වාසිය නිසාය. හකීම් අධිකරණ ඇමතිව සිටියදී මුස්ලිම් ශිෂ්‍යයින්ට වාසි සහගත වන ලෙස ක්‍රියාකිරීමක් පවා එලිවුණේය.

රටින් පැනගොස් සිටින සේපාල් හා U. R. ද සිල්වා

නාගානන්දගේ (nk) ලැයිසම අහෝසිකිරීම දේශපාලනයට ඈඳාගැනීම පිළිඹඳ හොඳම නිදසුණක් සේපාල් සපයයි. Jvp එකට කඩේයන ඔහුට අනුව මෙම තීරණය ස්වභාවධර්මය විසින් nk ට දුන් දඬුවමකි. ජාතික ලැයිස්තු මගඩිය සම්භන්ධයෙන් nk උසාවියට ගියේ jvp පක්ෂයෙන් පලිගන්නට යයි සේපාල් පවසයි. ඔහු තවදුරටත් කියන්නේ උසාවි තීරණයට විරුද්ධව nk කියන කරණ දේ නිසා උසාවියට අපහාස කලා යයි හිරේ වැටෙන්නට ඉඩ ඇති බවය. ඉක්මණින් හෝ  ප්‍රමාදව නාගානන්දට මෙවැනි දෙයක් සිදුවීම බලා සිටි අයෙක් ලෙස නාගානන්ද විසින් U.R. ද සිල්වාව සළකයි. නාගානන්ද විසින් පවතින ක්‍රමය වෙනස් කිරීමට කරණ සටන, ද සිල්වාගේ දේශපාලනයට පටහැනිය. සුගන්ධිකා ප්‍රනාන්දු විසින් පෙන්වා දුන්නේ, තමන්ගේ ස්ත්‍රී මායම් යොදවා නඩු දින යනාදිය ලබාගන්නට අළුතෙන් දිවුරුම් දුන් තරුණියන්ට, බාර් ඇසෝෂියේසන් සභාපති කෙනෙක් වශයෙන්, ද සිල්වා දුන් උපදේශයය. එම තරුණියකගේ මවක් මේ කාරණය සුගන්ධිකාට වාර්තා කලේය.

ඥානසාර හිමියන්ගේ මස් රාත්තල

මිසිස් චන්ද්‍රිකා, මෛත්‍රී වික්‍රමසිංහ නෝනා, පාකියසෝති යන බොහෝ කල්ලි, ඥානසාර හාමුදුරුවන් කොටුකර ගැනීමට ක්‍රියා කල අය අතර සිටියේය. අන්තිමේදී නීතිපති දෙපාර්තමේන්තුව, jvp පක්ෂයේ නීතිඥ කුමාරප්පෙරුම යන පාර්ශව විසින් හෝමාගම මැජිස්ට්‍රේට් හරහා ලෝකයේ පුදුම විදියේ දඬුවමක් ඥානසාර හිමියන්ට ලබාදුන්නේය. රංජන් රාමනායකට දුන් 4 අවුරුදු දඬුවම ගැන ජීනීවා පවා ගිය සිංහල බෞද්ධ විරෝධී කල්ලි, හාමුදුරුවන්ට දුන් 19 අවුරුදු දඬුවම කෲර දඬුවමක් ලෙස නොසිතුවේය.  ඇපැල් උසාවිය හා සුප්‍රීම් උසාවිය විසින් ස්වාභාවික යුක්තිධර්ම රීති පවා කඩකරමින් හාමුදුරුවන්ට කල අසාධාරණය විග්‍රහ කරමින් 2019 දී පලකල ලිපියක් සඳහා ඉහත ලේඛණ ලැයිස්තුවේ අංක 2  ලින්ක් එකට යන්න. එපමණක් නොව අසාද් සාලි වැන්නන්ගේ පවා මැදිහත්වීමෙන් පාස්කු ප්‍රහාරයට පසුව උන්වහන්සේව හිරෙන් නිදහස් කිරීම හැර වෙන ගැලවිමක් ජනාධිපති සිරිසේනට නොතිබුණත්, ඊට විරුද්ධව පාකියසෝති විසින් පෙත්සමක් ඉදිරිපත්කර ඇත.

Subjective හා Objective යන විමර්ශන විධි (tests) ආකාර දෙකටම අනුව නීත්‍යාණුකූල නොවන ලෙස දුන් බව පැහැදිලිවම විද්‍යාමානවන <දඬුවමක්> සඳහා <සමාව දීමක්> අවශ්‍ය වන්නේ නැත.  පවතින මජර සමාජ දේශපාලන ක්‍රමයට විරුද්ධව ක්‍රියාකරණ හාමුදුරුවරුන් අතුරුදහන් වෙන ආකාරය ගැන සිතන විට ඥානසාර හිමියන් ඝාතනයකින් බේරී ඉතිරිවීම පුදුමයට කරුණකි.

නාගානන්ද කොඩිතුවක්කු භූමිකාව

පවතින දූෂිත ක්‍රමයට විරුද්ධව ක්‍රියාකිරීම නිසා පක්ෂ දේශපාලක් කළු සුද්දන්ගේ ද්වේෂයට පාත්‍රවු ඥානසාර හිමියන්ට අත්වූ ඉරණමම නාගානන්දටද අත්වුනාසේ පෙනුනත් තම නඩුවට පෙනීසිටීමට ලක්ෂ 10 ක් ඉල්ලු ප්‍රසිද්ධ නීතීඥයෙකු වැන්නකු ඉදිරියේ අසරණ වීමට ඥානසාර හිමියන්ට සිදුවූවා වැනි මානුෂීය භාධක නාගානන්දට නැත. ඔහුට කල අසාධාරණයට විරුද්ධව රටතුල නොහැකිනම් රටින් පිටින් හෝ විසඳුමක් ලබාගැනීමට හැකි පසුබිමක්, ඉතිහාස වාර්තාවක්  ඔහුට ඇත.

නාගානන්දගේ දේශපාලන මත, ගෝල්පේස් අරගලය කුමන්ත්‍රණයක් බව නොවැටහීම, බුදු දහම හා බුද්ධ-ආගම අතර ඇති බැඳීම පිළිඹඳව ඔහු නොමඟ ගොස් තිබීම යනාදියට මම එකඟ නොවෙමි. එහෙත් මහජනයා වෙනුවෙන් උසාවියට යමින් ඔහු කරණ සේවය අනුව ඔහුව සමාන කල හැක්කේ අනාගාරික ධර්මපාලතුමා වැන්නෙකුටය. ඔහු ලංකාවට ගොස් දුක්විඳින්නේ පූරුවේ පවකට යයි ඔහුගේ බිරිඳ හා දරුවන් ලන්ඩනයේ සිට සිත් සනසා ගන්නවා නිසැකය. අන්ත දූෂිත දේශපාලන-නිලධාරී ක්‍රමයක් ඉදිරියේ, ඒ නිසාම ජීවිතය බේරා ගැනීමට ආණ්ඩුව විසින්ම ලන්ඩන් යැවූ, ඔහු නැවත ලංකාවට ආවේ අවංක චේතනාවෙනි. ඔහුට සුප්‍රීම් උසාවිය සමඟ <ගැටුම්> ඇතිවූයේ, අනිකුත් රාජ්‍ය ආයතන වල (ජනාධිපති, කැබිනට්, පාර්ලිමේන්තු මන්ත්‍රීන්, රාජ්‍ය නිලධාරීන්) ඇති දූෂණ විෂබීජය, යුක්තිය පසිඳලන ආයතන (නිදසුන් වශයෙන් පොලිසිය, බන්ධනාගාර, රස පරීක්ෂක හා උසාවි) වලටද රිංගා තිබීමය. මේවායේ ඉන්නා සෑම පංචස්කන්ධයක්ම දූෂිතයයි, රංජන් රාමනායක හෝ S.B. දිසානායක හෝ මෙන් ඔහු කියා සිටියේ නැත.

නොයෙක් භාධක මැද, සමස්ත නීතීඥ ප්‍රජාවම වාගේ ඔහුගේ ක්‍රියාකලාපය ගැන අකමැත්තෙන් සිටියදී ඔහු නොසැලී සිටීම දුර්ලභ මිනිස් ගුණයකි. අඩු තරමින් උසාවි නීතිඥ මේසයේ තමන් ලඟින් වාඩිවෙන්නට පවා මේ (කසි කබල්) නිතීඥයින් මැලිවෙන්නේ නඩුකාරයින් ඔවුන් ගැනද අවාසි සහගත ලෙස සිතන නිසා විය යුතුය.

සුප්‍රීම් උසාවියේ යම් නඩුකාරවරයෙක් හෝ තුන් දෙනෙක් විසින් දුන් බැලූබැල්මටම අනීතික බව පෙනෙන තීරණයක් නිවැරදි කිරීමේ බලය උසාවියට ඇත. මේ නිසා උසාවි පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය කිලිටි නොවීම සඳහා මෙම නාගානන්දගේ අත් දෙක බැඳ තැබීමට ගෙන ඇති උත්සාහය අහෝසි කිරීම සුප්‍රීම් උසාවියේ යුතුකමය. මේ සඳහා කතාකරණ අයට උසාවියට අපහාස කලා යයි තර්ක ගෙන ඒම කුඩා ළමයෙක් ආකර්ෂවත් ඇඳුමක් ඇඳගෙන පෙරහැරේ යන රජුට කියූ දේ සිහිපත් කරලන්නේය.

මෙම ලිපියේ මුලින් ඇති වීඩියෝව මඟින් නාගානන්දට කල අසාධාරණය ගැන සරල අදහසක් ලබා ගත හැකිය.

Cwije77@outlook.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress