හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අශෝක ජයවර්ධන මහතා
Posted on May 10th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

“හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අශෝක ජයවර්ධන මැතිතුමා 1937.09.27 දින රත්නපුර ඇලපාත ප්‍රදේශයේ උපත ලැබූ අතර ඔහුගේ ආදරණීය දෙමාපියන් වූයේ දම්මෙආරංචිලාය බේබිනෝනා මැතිනිය සහ දෙල්ලබඩ බටවලගේ රත්තරන් හාමි මැතිතුමා යන අයයි. රත්නපුර ඇලපාත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ 1954දී එතුමා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වූයේ ශ්‍රී ලංකාවේ පළමුවැනියා වෙමින්. 1956දී, ගුරු අභ්‍යාස විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වූ අතර අනතුරුව එතුමා අවසාන ගුරු විභාගය ද සමත් වුණා. ඔහුගේ ආදරණීය බිරිඳ වූයේ එවකට රත්නපුර මහ රෝහලේ මාණ්ඩලික හෙද නිලධාරීනියක වූ අභාවප්‍රාප්ත ලියෝනී ජයවර්ධන මැතිනියයි.

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂ වෛද්‍ය ඉන්දු අසංක ජයවර්ධන සහ  හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය අයන්ති සාරංගා ජයවර්ධන එතුමාගේ ආදරණීය දරුවන් දෙදෙනායි.

කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු වූ අශෝක ජයවර්ධන මැතිතුමා, රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පරිපාලන සේවයට එක්ව 1994 වනතුරු කටයුතු කළා. අතිරේක ඉඩම් රෙජිස්ටාර්, දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, සහකාර රෙජිස්ටාර් ජෙනරාල් ලෙස එතුමා රාජ්‍ය සේවයට මහඟු සේවයක් ඉටු කළා. 2004දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වූ අශෝක ජයවර්ධන මැතිතුමා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු අභ්‍යාස ආයතතනයේද සභාපති ධූරය ඉසිලුවා.

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, 1994 දී එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි අතර, 1997 දී රත්නපුර මහා නගර සභාවේ නගරාධිපතිතුමා බවට තේරී පත්වුනා. පසුව සබරගමුව පළාත් සභාවේ පළාත් පාලන, ක්‍රීඩා, යෞවන කටයුතු, පරිසර හා සංචාරය අමාත්‍ය ධුරය දැරූ අශෝක ජයවර්ධන මැතිතුමා, සබරගමුවේ ප්‍රධාන අමාත්‍ය ධුරයද ඉසිලුවා. පොදුජන එක්සත් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට 2002 වර්ෂයේදී පැමිණි අතර, නැවත පළාත් සභාවට පත්වී සබරගමුව පළාත් සභාවේ සභානායකවරයා ලෙසද කටයුතු කළා.

ශ්‍රී ලංකා-සෝවියට් මිත්‍ර සංගමයේ ක්‍රියාකාරිව කටයුතු කළ එතුමා, ශ්‍රී ලංකා-කියුබා පාර්ලිමේන්තු සහයෝගිතා සංගමයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළා. ශ්‍රී ලංකා-වියට්නාම සහයෝගිතා සංගමයේ සභාපතිවරයා ලෙසද එතුමා ක්‍රියා කළා. එතුමා කළ සේවය නිසාම වියට්නාම ජාතික ගොවි සංවිධාන මගින් විශිෂ්ඨ පුරවැසියා සම්මානයද එතුමා වෙත පිරිනැමුණා. ක්‍රීඩාව පැත්තෙන් ගත් කල, රත්නපුර දිස්ත්‍රික් රගර් සංගමයේ අනුශාසකවරයා ලෙසත්, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමයේ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කළා. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ අනුශාසකවරයා ලෙසත් එතුමා ක්‍රියාකර තිබෙනවා. විටක, රත්නපුර දිස්ත්‍රික් ස්වභාවික විපත් අවම කිරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙසත්, දිස්ත්‍රික්කයේ පරිසර ආරක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙසත්, දීප ව්‍යාප්ත රෙජිස්ටාර් සංගමයේ යාවජීව අනුශාසකවරයා ලෙසත්, එතුමා මහඟු සේවයක් ඉටුකර තිබෙනවා.

එතුමා, තායිලන්තයේ, ජාතික විපත් කළමනාකරණ පාඨමාලාව හැදෑරීමද මෙහිදී සිහිපත් කළ යුතුයි. ඉන්දියාවේ පැවති නගරාධිපතිවරුන්ගේ සම්මේලනයටද 1998දී එතුමා එක්වුණා. සිංගප්පූරුව, ජපානය, සෞදි අරාබිය, ස්විස්ටර්ලන්තය, මැලේසියාව, චීනය, ඉතාලිය වියට්නාමය ආදී රටවලද එතුමා සංචාරය කර තිබෙනවා.

2024 පෙබරවාරි 01 දින අප අතරින් සමුගත් ගරු අශෝක ජයවර්ධන මැතිතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරන අතර එතුමාගේ ආදරණිය දූ දරුවන් ඇතුළු පවුලේ සියලු  ඥාතින් වෙත මේ උත්තරීතර සභාවේ ශෝකය දන්වා යවන ලෙසද ඉල්ලා සිටිනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress