සෝවාන් මාර්ගය, සූත්‍ර දේශනා ඇසුරෙන්; සෝතාපන්න වූ අයෙක් හඳුනාගන්නේ කෙසේද? – සිව්වන කොටස
Posted on May 30th, 2024
තිස්ස ගුණතිලක
සෝවාන් මාර්ගය හා එම ස්වභාවයට එලැබෙන ආකාරය පිළිබඳව පසුගිය ලිපි තුනෙන් කල සාකච්ඡාව නැවතත් සාරාංශ කරමු.
සක්කාය දෘශ්ඨිය හා එහි ප්‍රහානය
බුදුන්වහන්සේ දේශනාකල ධර්මය දුක නැතිකරගැනීමටයි. දුක ඇතිවන්නේ මායාවක්වූ ‘මම’ නොහොත් ඉත්ථභාවය අස්මිමානය ඇතිවීම නිසයි. ‘මගේ ශරීරයේ’ බිඳීම, විපරිනාමය දුකකි. ‘මගේ යයි ගත් දෙයක්’ නැතිවීම දුකකි. ‘මම වින්ඳනය කරමින්සිටිනා ලෝකය’ හෝ එහි අඩංගු කිසිවක් නැතිවීම දුකකි. කොටින්ම කිවහොත් “මම” සිටිනා බව දැනීමම දුකකි.
සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා-ධම්මචක්කප්පවත්තන සූත්‍රය
උපාදාන ප්‍රත්‍යයෙන් භවය ඇතිවන බවත්, භව ප්‍රත්‍යයෙන් ජාති හෙවත් ‘මම’ සිටිනා බවක් දැනෙන ස්වභාවය හෙවත් අස්මිමානය ඇතිවන බවත් සද්ධර්මයේ එන මුලික කරුනකි.
මම සිටිනාබව (හැඟීම) හෙවත් ඉත්ථභාවය/අස්මිමානය ආත්ම දෘශ්ඨියටත් ආත්ම සංඥාවටත් දොරටුවයි.
දුක නැතිවීමට ‘මම’ ‘මගේ’ යන (අස්මි) මානයට මුල්වන ඉත්ථභාවය ඇතිවන සාධක දැන හඳුනාගෙන එම සාධක එකින් එක ඉවත්කල යුතුය (මූලපරියාය සූත්‍රය).
භාහිරය දෙයක් යමක් කෙනෙක් සේ දැනීම හා ඒ නිසාම භාහිරය විඳින ‘මම’ සිටින්නාක් සේ දැනීම ඉත්ථභාවයයි නැතහොත් සක්කාය දෘශ්ඨියයි. එසේ මම සිටිනාසේ දැනෙන්නේ විඤ්ඤාණමායාවෙන් වැසී ඇති භාහිරයේ සත්‍ය ස්වභාවය නැතහොත් යථාභූත ස්වභාවය ඔබට හසු නොවන බැවිනි. භාහිරයේ අනාත්මීය (දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවය) විඤ්ඤාණමායාවෙන් වැසී ඇතිබවත් ඒ හේතුවෙන් ඉත්ථභාවය, මම සිටිනාබවක් දැනෙන්නේය යන දැනුම ඔබට ඇතිනම් ඔබ සක්කාය දෘශ්ඨිය පලමු සංයෝජනය ලෙස ප්‍රහානය කලේ වෙයි.
විච්කිච්ඡාව හා එහි ප්‍රහානය
විඳීමට කිසිවක් හමුනොවන, ආශ්වාදයක් නැති අනාත්මීයව පවත්නා භාහිරය විඤ්ඤාණමායාව නිසා ආත්මීය (දෙයක් යමක් කෙනෙක් සිටිනා) ස්වභාවයට පත්වී වීඳීමක් ඇතිකරවයි. ආත්මීය භාහිරය බොහෝවිට සුඛදායකය. මොහොතකට දුක ඇතිවුවත් අනෙක් මොහොතේ නැවත සුඛසේ දැනෙයි. විඤ්ඤාණමායාව සකස්කරනා ආත්මීය ස්වභාවය මෙයයි. විඤ්ඤාණමායාව සකස්කරදෙන භාහිරය විඳීමට අප කැමැත්තෙමු. නමුත් සෘතවත් ආර්ය ස්‍රාවකයා එම වින්ඳනය දුකම බව දනී. ඔහු විඤ්ඤාණමායාව සකස්කර දෙන ආත්මීය භාහිරය ‘විඳිනවාද.’ නැතහොත් එම වින්දනය තුල හටගන්නා දුකෙන් ‘මිදෙනවාද’ යන උභතෝකෝටිකයෙහි (දෙගිඩියාවෙහි dilemma) සිරවී සිටියි. මෙම දෙගිඩියාව, උභතෝකෝටිකය විචිකිච්ඡාවයි. විචිකිච්ඡාවට හේතුව ධර්මය නැතහොත් ‘විඳීම හා මිදීම’ යන දෙකින් තෝරාගත යුත්තේ කුමක්දැයි නොදන්නා කමයි. විඤ්ඤාණමායාව තුල වින්ඳනය සකස්වන ආකාරයත් එනම් භවය සකස්වන ආකාරයත් එයින් මිදීම ආනාර්ය අශ්ඨාංගික මාර්ගයෙන් මිඳීම බවත් එහි කෙලවර ක්ෂේම භූමියවන නිවන පවතින බවත් දන්නා (ජානතෝ) තැනැත්තාට විචිකිච්ඡාවක් ඇතිනොවෙයි. හෙතෙමේ (භාහිරය) විඳීම අතහැර (භාහිරයෙන්) මිඳීම තෝරාගනියි. එනම් හෙතෙමේ විචිකිච්ඡාව ප්‍රහානය කලේ වෙයි.
සීලබ්බත පරාමාසය හා එහි ප්‍රහානය
අප සියළුදෙනාම ගෙවනා වැරදි දිවිපෙවත නොහොත් අනාර්ය අටමඟ (අශ්ඨාංගික මාර්ගය) හේතුවෙන් විඤ්ඤාණමායාව තුල සකස්වන විඳීමක් ගෙනදෙන ආත්මීයවූත්, අගයක් ඇතිකරන්නාවූත්, ඒ නිසාම නන්දිරාග සහගතවූත්, ‘මමයා’ සාදන්නාවූත් ලෝකය (ලෝක සංඥාව) මිස භාහිරයේ සත්‍ය යථාභූත ස්වභාවය ඔබට හසුනොවෙයි. මෙසේ භාහිරයේ සත්‍ය යථාභූත ස්වභාවය හසුනොවන දිවිපෙවත නැතහොත් අනාර්ය අටමඟ සීලබ්බත පරාමාසයයි. අද සෝවාන්වූවන් කිසිවෙකු ගැන සඳහනක් හෝ ආරංචියක්වත් නැති බැවින් අප සියළුදෙනා (in default) සිටින්නේ අනාර්‍ර්යවූ සීලබ්බත පරාමාසයක් වූ දිවිපෙවතකයි. එනම් භාහිරය සත්‍යසේ දකිමින්, විඳිමින් ගතකරන භවය සකස්කරන දිවිපෙවතක් තුලයි. මේ බව දැනගෙන (ජානතෝ) එම අනාර්ය අටමගක් වූ දිවිපෙවෙතින් මීදීම සීලබ්බත පරාමාස ප්‍රහානයයි.
සූත්‍ර දේශනාවල අන්තර්ගතය
ඛුදුන්වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනාකලේ මෙම සක්කාය දෘශ්ඨිය ඇතිකරවන භවය සකස් කිරීම නොහොත් භාහිරය දෙයක් යමක් කෙනෙක් සේ දකිනා අනාර්ය දිවිපෙවෙතින් මිදී උදාකරගන්නා දුකක් නැති, ශාන්ත සුවය අත්විඳිය හැකි නිවන නැතහොත් ස්වභාවධර්මය හා බද්ධවන ක්‍රියාවලියයි.
එම ක්‍රියාවලිය බුදුන්වහන්සේ ප්‍රථමයෙන්ම පෙන්වාදෙන්නේ ‘රතන සූත්‍රය, මංගල සූත්‍රය, කරණීය මෙත්ථ සූත්‍රය හා පරාභව සූත්‍රය’ වැනි සරල සූත්‍ර දේශනා තුලයි. මෙම සූත්‍ර දේශනාවල අන්තර්ගත දිවිපෙවතට (අටමඟට) ඔබට අනුගතවිය හැකිනම් ඔබ සෝවාන් වුයේ වෙයි. එම සූත්‍ර දේශනාවල අන්තර්ගතය ඔබට අවබෝධවී ප්‍රත්‍යක්ෂ වූයේනම් ඔබ නිවනට පත්වූයේ වෙයි. කොටින්ම මෙම සූත්‍රවල අන්තර්ගතය ඔබ තිපරිවට්ටයට බහා දැනුමෙන් (සත්‍ය ඥානය), අවබෝධයෙන් (කෘත්‍ය ඥානය) හා ප්‍රත්‍යක්ෂයෙන් (කෘත ඥානය) සාන්දිට්ඨික වන්නේනම් ඔබට පිලිවෙලින් සෝවාන් මාර්ගයටත් කෙලවර අමාමහ නිවන් සුවයටත් පත්විය හැකිය.
එසේනම් පලමුවෙන්ම කලයුතුවන්නේ මෙම සූත්‍රදේශනාවල අන්තර්ගතය බුද්ධියෙන් තේරුම් ගැනීමයි.
ප්‍රත්‍යවේක්ෂන ඥාණය හා ඡබ්බ සොධන සූත්‍ර අන්තර්ගතය
තමා සෝතාපන්න ස්වභාවයට පත්වූබව දැනගන්නා සිහිය ප්‍රත්‍යවේක්ෂණ (ප්‍රත්‍යවේක්ඛණ) ඥාණයයි. සෝතාපන්නයට පත්වීමට පෙර තම සිහියට දැනුන ස්වභාවය හා සෝතපන්නයට පත්වූ පසු සිහියට දැනෙන ස්වභාවයන් හා ගැලපීමෙන් තමන් සෝවාන් වූ බව දත හැකිය.
ඔබ අනාර්ය අට මගෙහි (අනාර්ය අශ්ඨාංගික මාර්ගයෙහි) එනම් සීලබ්බත පරාමාසයෙහි දිවිපවත්නාවිට ඔබට දැනෙනා තත්වයන්, ස්වභාවයන් කවරේද? ie. අප සියළු දෙනාම දිවි ගෙවන්නේ අනාර්ය අශ්ඨාංගික මාර්ගය තුලය. ඒ නිසා පහත සඳහන් තත්වයන් ඔබ සියළුදෙනාගේම සිහියට හසුවිය යුතුය.
ප්‍රතමයෙන්ම අප සියළුදෙනාම නිතරම බියකින් හා තැතිගැනීමකින් දිවිගෙවයි. මේ බිය හා තැතිගැනීම විවිධ හේතුන් නිසා ඇතිවිය හැකිය.
උදා; 1. අප ආදරය කරන්නන්ට අනතුරක් කරදරයක් ඇතිවේදැයි ඇතිවන බිය හා තැතිගැන්ම,
2. අප රාජකාරිය කරනා ස්ථානයේ ඇති ආතතිය නිසා ඇතිවන තැතිගැන්ම,
3. අනාගතය ගැන ඇති බිය හා තැතිගැන්ම,
4. සමාජ තත්වයන් රැකගැනීමට දරනා තැත නිසා ඇතිවන ආතතිය,
5. මෙකි නොකි ජීවිතයේ හමුවන සියළුම අවස්තාවන් නිසා සත්වයා බියෙන් හා තැති ගැනීමෙන් නිතරම පසුවෙයි. මොහොතකට සුඛයක් දැනුනත් පිටුපසින් ඇති තත්වයන් ඇතිකරනා තැතිගැනීම ඊලඟ මොහොතේ හෝ මතුවෙයි.
ඔබ ධර්මය ගැන තරමක හෝ දැනීමක් ඇති සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් නම් ඔබගේ දිවිය පුරා විහිදී ඇති මෙම බිය හා තැතිගැනීම ඔබගේ සිහියට හසුවිය යුතුමය. ඒ සිහිය ආතතියක් ඇති ස්වභාවය හරහාද පැමිනෙයි. මේ සෝතාපන්නයට පෙර ඔබගේ සිහියට හසුවන ස්වභාවයයි.
ඔබ ගතකරනා අනාර්ය දිවිපෙවතින් මිදී භවය සකස් නොකරන (භාහිරයේ පවතින කිසිවක දෙයක් යමක් කෙනෙක් නැති, අනාත්මීය, අගයක් නැති, ගින්නක් නැති, ශුන්‍යත ස්වභාවය) ආකාරයට ඔබ තුන් දොර (කායි, වචී, මනෝ සංකාරයන්) හසුරවයි නම් ඔබ ආර්ය අට මගට පිලිපන්නේ වෙයි.
කරණීය මෙත්ත සූත්‍රය
මෙම සූත්‍ර දේශනාවේ බුදුන්වහන්සේ විශේෂයෙන් සෝතාපන්නට පත්වීම පිනිස කල යුතු දෑ පැහැදිලි කරයි. පලමු ගාථාවේ එම කරුන සාරාංශ වශයෙන් ඉදිරිපත්කරන අතර;
කරණීය මත්‍ථ කුසලෙන – යං තං සන්තං පදං අභිසමෙච්ච
ශාන්ත වූ නිවනට පැමින වාසය කිරීමට කැමැත්තහු විසින් එය අත්දැකීමට කලයුතු වන්නේ භවය සකස් නොවනා ලෙස (කුසල්) දිවිපෙවෙත හැසිරවීමයි.
ඉතිරි ගාථා නමයේම සෝතාපන්න ආදි අවස්ථාවන්ට පත්වන ආකාරය අපට කියාදෙයි. ඉඩකඩ ලැබෙනා පරිදි පසු ලිපියක කරණීය මෙත්ත සූත්‍රය දීර්ඝව සාකාච්ඡා කරමු. දැනට සෝතාපන්න වූ පුද්ගලයෙකුගේ සිහියට හසුවන ස්වභාවය විස්තරවන තැන පමනක් සලකා බලමු.
සිව්වන ගාථාවේ;
යෙ කෙචි පාණ භූතත්ථි – තසා වා ථාවරා වා අනවසෙසා
යෙ කෙචි පාණ භූතත්ථි – ප්‍රණ සහිත සියළුම සත්වයින්ගේ
තසා වා ථාවරා වා අනවසෙසා – බිය හා තැතිගැනීම ස්ථිරවම ශේෂ නැතිවම දුරුවෙයි.
සෝතාපන්න වූ පුද්ගලයාගේ බිය හා තැති ගැනීම (trembling) ක්‍රමයෙන් ක්ෂයවන ස්වභාවය තම සිහියට හසුවෙයි. සෝතාපන්නයට පෙර පැවති බිය හා තැති ගැනීම ක්‍රමයෙන් දියවන ස්වභාවය ඔබට හසුවන්නේ ප්‍රත්‍යවේක්ෂා ඥාණයටයි. භවය සකස් නොවනා සේ දිවිපෙවත සකසා ගත් ඕනැම කෙනෙකුට මෙම බිය හා තැතිගැන්ම දියවන සිද්ධිය පහසුවෙන් අත්විඳිය හැකිය.
භවය සකස් නොවනා පරිදි දිවිපෙවත සකස් කරගන්නා ආකාරය 2024 මාර්තු 26වන දින lankaweb පිටුවේ පලවූ;
“ආර්ය අෂ්ඨාංගික මාර්ගය, අනාර්ය අෂ්ඨාංගික මාර්ගය සහ සීලබ්බත පරාමාසය – න තෙ භවං අට්ඨමමාදියන්ති“
ලිපියෙන් විස්තර කිරීමට උත්සාහ කලෙමි.
ඡබ්බ සොධන සූත්‍රය
ඉහත සඳහන් පරිදි තමා සෝතාපන්නයට පත්වූබව පසක්වන්නේ සිහියට හසුවන ප්‍රත්‍යවේක්ෂණ ඥාණය මගිනි. කෙනෙක් සෝවාන්වූ බව හෝ ඉන් ඉක්බිතිව අර්හත් ස්වභාවයට පත්වූබව හෝ තවත් භාහිර පුද්ගලයෙකු විසින් දැනගන්නා ආකාරය බුදුන්වහන්සේ ඡබ්බ සොධන සූත්‍රය තුල පෙන්වාදෙයි. සෝතාපන්නයට පත්වුබවට (හෝ ඉන් ඉක්බිතිව අර්හත් බවට පත්වූ බවට) ප්‍රකාශකරනා පුද්ගලයාගේ ස්වභාවය (හෙතෙමේ සෝවාන් වී ඇද්ද නැත්ද යන්න) තහවුරු කරගැනීමට කලහැකි පරික්ෂාව මෙම සූත්‍ර දේශනාවේ අන්තර්ගතයයි.
“මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් තෙම් භවය සකස්වීම නිසා දැනෙන මම සිටිනා ස්වභාවය නොහොත් ඉත්ථභාවය (සක්කාය දෘශ්ඨිය) ක්ෂය කරන ලද්දේද, අනාර්ය අශ්ඨාංගික දිවිපෙවතින් නික්මවන (බ්‍රාහ්මචර්‍ය්‍යාවට වැස නිමවන) ලද්දේද, කටයුතු දෑ කොට අවසානය, මත්තෙහි කළයුතු අනිකක් නැතැයි, දනිමි කියා රහත් බව ප්‍රකාශ කෙරේද, මහණෙනි, ඔහුගේ කීමට භික්ෂූහු නොම සතුටු විය යුතුය, ප්‍රතික්ෂෙපද නොකළ යුතුය. සතුටු නොවී බැහැරද නොකොට ප්‍රශ්න කීපයක් ඇසිය යුතුය”.
එම ප්‍රශ්නවලට හෙතෙමේ ලබාදෙන පිලිතුරු අනුව එම පුද්ගලයාගේ ආර්ය ස්වභාවය (සෝතාපන්න හෝ අර්හත්) විමසිය හැකිය. සූත්‍ර දේශනාවේ අන්තර්ගතය තවදුරටත් ඉඩ ලද හැටියට වෙනත් ලිපියකින් සාකච්ඡා කරමු.
නිවනේ ස්වභාවය
නිවන යනු ස්වභාවධර්මගත වීමයි නැතහොත් ස්වභාවධර්මය හා බද්ධ වීමයි. ස්වභාවධර්මය හා බද්ධ වීමට ප්‍රතමයෙන් ස්වභාවධර්මය තේරුම්ගත යුතුය.
ස්වභාවධර්මය හෙවත් නිර්වාණ ස්වභාවය යනු තම ශරීරයද ඇතුළුව භාහිරය පවතිනා යථාභූත ස්වභාවයයි. භාහිරය කිසිම ආශ්වාදයක් (හෝ ගැටීමක්) නැති, අගයක් නැති, අනාත්මීය, ශුන්‍යත ස්වභාවයෙන් පවතී. ස්වභාවධර්මය තුල ක්‍රියාකරන්නෙක්ද නැත (අනත්ත ස්වභාවය). මෙම අගයක් නැති ශුන්‍යත ස්වභාවය නිසා අනාත්මීය භාහිරය (ස්වභාවධර්මය) තුල;
- දිග කෙටි, උස් මිටි, යාම් ඊම්, පිං පව්, සුභ අසුභ ආදි සාපේක්ෂතාවයන් නැත.
- එසේම යහපත් අයහපත්, වැරදි නිවැරදි, ඇති නැති ආදි අන්තද නැත.
- තවද උපාදාන රෑප මෙන්ම නාම ධර්ම කිසිවක් ස්වභාවධර්මය හෙවත් නිවන තුල හමුනොවෙයි.
- ඉහත සඳහන් ස්වභාවය ඔබට ග්‍රහනය කරගත හැකිනම් ඔබට භවය සකස් කිරීමක් (භාහිරය දෙයක් යමක් කෙනෙක් වන සංසිද්ධිය) ඇති නොවෙයි.
මෙහිදී හොදින් තේරුම් ගත යුතු වන්නේ ඉහත සඳහන් සාපේක්ෂ සංසිද්ධීන් (දිග කෙටි, පිං පව් ආදි) මෙන්ම අන්ත (ඇති නැති ආදි) මෙන්ම උපාදාන රෑප හා නාම ධර්ම විද්‍යාමාන වන්නේ (පවතින්නේ) විඤ්ඤාණමායාව තුල සකස්වන ‘මගේ ලෝකය’ තුල මිස යථාභුත ස්වභාවයෙන් පවතින භාහිරය හෙවත් අනාත්මීය ස්වභාවධර්‍රමය තුල නොවන බවයි.
බුදුන්වහන්සේ කේවට්ට සූත්‍රය තුල පෙන්වාදෙන්නේ මෙම කරුනයි.
“විඤ්ඤාණං අනිදස්සනං – අනන්තං සබ්බතො පහං
එත්ථ ආපො ච පඨවි – තෙජො වායො න ගාධති,
එත්ථ දීඝඤ්ච රස්සඤ්ච – අණුං ථූලං සුභාසුභං
එත්ථ නාමඤ්ච රූපඤ්ච – අසෙසං උපරුජ්ඣති.
විඤ්ඤාණස්ස නිරෝධෙන – එත්ථෙතං උපරුජ්ඣති“
විඤ්ඤාණං අනිදස්සනං – භවය සකස් කරනා විඤ්ඤාණය විද්‍යාමාන නොවන තැන
අනන්තං – අනන්තයක්වූ ස්කන්ධ අතර
විඤ්ඤාණං – භවය සකස්කරනා විඤ්ඤාණය (භවය සකස්කරනා ස්කන්ධයන් මූලිකව ඇතිවන විඤ්ඤාණය)
සබ්බතො පහං – සර්වප්රකාරයෙන් ප්‍රහානය කලවිට
අනිදස්සනං – හමුවන ස්වභාවය (නිවන)
එත්ථ – තුල
ආපො ච පඨවි තෙජො වායො න ගාධති – සතරමහා භුත ස්වභාවය බැස නොගනී. නාම අර්ථයෙන් සතරමහා භූතයෝ නොපවතී. දෙයක් යමක් කෙනෙක් වන ස්වභාවයෙන් ඒවා නොපවතී.
දිග කොට, කෙට්ටු මහත, සුභ අසුභ ආදි සාපෙක්ෂතාවයෝද ඉතිරි නැතිවම නිරුද්ධ වෙයි (නොපවතියි).
විඤ්ඤාණස්ස නිරෝධෙන – එත්ථෙතං උපරුජ්ඣති
භවය සකස්කරනා විඤ්ඤාණය නිරෝධයෙන් ඉහත ධර්ම සමූහයම ආවරණය කරයි, වලක්වයි. (නාම අර්ථයෙන් නොපවතියි)
අනාත්මීය ස්වභාවධර්මය (දෙයක් යමක් කෙනෙක් නැති භාහිරය) තුල ඇත්තේ ජීවයක් සහිත රූපහැඩතල (මනුශ්ෂ හා සත්ව ආදි) හා ජීවයක් රහිත රූපහැඩතල (ගස්, කඳු, සුලඟ වැනි) පමනි. භාහිරයේ යථාභූතව පවතින සියල්ලම ආශ්වාදයක් හෝ අගයක් නැති ශුන්‍යත ස්වභාවයෙන් පවතී.
නාම අර්ථයෙන් කිසිවක් නොපවතින, හමුනොවන ස්වභාවධර්මය තුල බුදුන්වහන්සේ තම සූත්‍ර දේශනාවල නිවන හා නිවන් ප්‍රතිපදාව පැහැදිලිකල ආකාරය මීලඟ ලිපියෙන් සාකච්ඡා කරමු.
ඔබට තෙරුවන් සරණයි
තිස්ස ගුණතිලක
eMail: tgunite@tpg.com.au
2024 මැයි මස 31 වනදා
Sent from Tissa’s Phone