සමාන සම්පත් හිමි වන පරිදි අධ්‍යාපනය ක්‍රමයේ වැය ශීර්ෂයන් සකස් විය යුතුයි…-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on June 24th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

කොට්ටාව ආනන්ද විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් 2024.06.23 දින අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –  
නව දැනුම නව තාක්ෂණය උපයෝගී කර ගැනීම  වර්තමාන සිසු පරම්පරාවට අවශ්‍යතම අභියෝගයයි.  එම අභියෝගයට අප පිවිසිය යුතුයි. එම අභියෝගය හරහා අපේ දරුවන්ට අනාගතයට ගමන් කළ හැකි මාර්ගය ශක්තිමත් කර දෙන්නට ඕනේ. හැම ජයග්‍රහණයක් වගේම අනාගතය සැලසුම් කරගැනීමේ ඕනෑකම සුවිශේෂව ඇති කරගනිමින් කොට්ටාවේ ප්‍රධාන විද්‍යාලයක් බවට පරිවර්තනය වීමට කොට්ටාව ආනන්ද විද්‍යාලය අවශ්‍ය ශක්තිය ලබාගන්නට ඕනේ. ඒ ආකාරයෙන් තමයි අපිට දියුණුවට පිවිසෙන්නට පුළුවන් වෙන්නේ. පාසල්වල සංකීර්ණව තිබෙන අධ්‍යාපන දැනුම වැඩිදියුණු කර ගැනීමට තිබෙන ක්ෂේත්‍රයන් අතරේ සම්පත් අඩු බව එක් වැදගත් ක්ෂේත්‍රයක්.
සම්පත් සඳහා ආයෝජනය කළ හැකි ප්‍රමාණය බලාපොරොත්තු වන ඉලක්කයන් වලට වඩා අඩුයි. ඒ නිසා අසමාන ලෙස රට පුරා අධ්‍යාපනය වැඩෙනවා. බලාපොරොත්තු සහගත ඉලක්කවලට පිවිසෙන්නට පරම්පරාවකට අවස්ථාව ඇතිවීම හරහා යාම නිසා තරඟය වැඩිවී තිබෙනවා. තරඟය වැඩිවීම හොඳ වගේම ගැඹුරු දැනුමකට අපේ දරුවන් පරිවර්තනය කරගැනීමේ ඕනෑකමට ගමන් කරන්නට ඕනෑ.  
විදේශ රටවලින් ලැබෙන ආධාර, තාක්ෂණික දැනුම, විවිධාකාර පුහුණු පාඨමාලා උපයෝගී කරගත් ගුරු පරම්පරාවක් මෙලෙස ඉදිරියට  සකස් කිරීමේ ඕනෑකමට මුළු ආණ්ඩුවම කැපවී සිටිනවා. මේ හැම දරුවෙක්ම රටේ අනාගතයේ භාරදූර වගකීම් ගන්න පුළුවන් දරුවෝ බවට පත්විය යුතුයි. අපේ දූ පුතුන් දෙගොල්ලොම අද සමාජයේ හැම අවස්ථාවකටම පිවිසී වගකීම් භාර ගත හැකි ලෙස තම දැනුම පරිත්‍යාග කරමින් සිටිනවා.
පවතින පාසල් සංඛ්‍යාව හොඳින් ගොඩ නැගෙනවා. හොඳින් මෙහෙය වෙනවා. නමුත් අවසාන පන්ති කාමරය දක්වා ඒ හා සමානව අපේ දරුවන් සම්පත් වලින් යුතුව ගමන් කරවීමේ ඕනෑකමට අපේ අධ්‍යාපනය ක්‍රමයේ වැය ශීර්ෂයන් සකස් විය යුතුයි. අපේ දරුවන්ට ලබා දිය හැකි උතුම්ම දායාදය වූ අධ්‍යාපනය අඛණ්ඩව ඇති කරගෙන යාමට පුළුවන්කම හා දෙමාපියන් හැටියටත්, පාසලක් හැටියටත් ඒ සන්තෘෂ්ටිය ඇතිකර ගැනීමට හැකිවන්නේ එසේ වුවහොත් පමණයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න, කොට්ටාව ආනන්ද විද්‍යාලයේ විදුහල්පති දිස්නා  වැලිකල, හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර, විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති දුමින්ද සංජීව  බාලසූරිය, ගුරු, සිසු, දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය     

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress