රණවිරුවා දංගෙඩියට යවන සත්‍ය සෙවීමේ කොමිසම  
Posted on August 31st, 2024

 මතුගම සෙනෙවිරුවන්

තිස්වසරක් තුළ පැවති කොටි ජන ඝාතක ක්‍රියාවලිය අවසන් කරන ලද්දේ 2009 වසරේ දීය.ඒ ආරක්ෂක හමුදාවන් මහජනයා සහ අතලොස්සක් පමණ වන දේශපාලඥයන්ගේ කැපවීම මතයි.ඒ දුෂ්කර සමයේ මතකය වර්තමාන තරුණ පරපුරට නැත. රජරට ප්‍රදේශ වල දුෂ්කර ගම්මාන වල ජනයා රෑට කැලේ වදිමින් දහවලට බියේ ගැහෙමින් අලපලා කොළ වලින් ජීවිකාව ගැටගසා ගත් ඒ සමය අතිශය බියකරු විය. කොටි සංවිධානය උතුර සහ නැගෙනහිර පෙදෙස් වල සිංහල ගම්මානයන්හි මිනිසුන් කැති ගා පන්නා දමා කළජන වාර්ගික විසුද්ධිකරණයේ ප්‍රතිඵලය නම් ඒ ප්‍රදේශයන් සිංහල ජනතාවගෙන් තුරන් වීමයි.මාවිල් ආරු සොරෙවාව් වසා ජීවත් වීමේ අයිතිය ද නැති කළ අවස්ථාවේ ආපිට හැරුණු ශ්‍රී ලංකා යුධ හමුදාව මේ ඝාතකයන්ට පහර පිට පහර දෙමින් ගොස් අවසානයේ නන්දි කඩාල් කලපුවේ දී මේ කුරිරු යුද්ධය අවසන් කළ ආකාරය අප දනිමු. යුද්ධය පැවති වකවානුවේ දී තොප්පිගල ප්‍රදේශය මුදාගත් කල්හි වත්මන් ජනපති වරයා එය කැළයක් කියා හමුදාවට අපහාස කළේය. අනතුරුව මේ යුද්ධය නිසා 40000 ක් පමණ මිය යන්නට නියමිත බව 2008 දී ඇමරිකන් තානාපතිට  කේලාම් කී ආකාරය විකිලිස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.ඒපුද්ගලයා යුද්ධයයෙන් පසුව විවිධ සැලසුම් දියත් කරමින් අවසානයේ මෛත්‍රීපාල සිරිසේන පෙරට දමා බලය පැහැර ගත් අතර අගමැති බවට පත්ව ජනාධිපති බලතල ද සියතයට ගෙන අධිපතිවාදී ලෙස ක්‍රියාකළ ආකාරය කාටත් මතක ඇතැයි සිතමි.මේ කාලයේ දී පැවති ජිනීවා මානව හිමිකම් සැසියකදී 30/1 යෝජනාට එකඟව සිටීම නිසා ඔවුන් අනුදත් සංහිඳියා ක්‍රියාවලියකට අවතීරණ වීමට සිදු විය.ඒ අනුව සංහිඳියා කාර්ය සාධක බලකායක් පිහිටුවන ලදී. සංහිඳියාව ගොඩ නැන්වීම පිණිස මූලිකව අරමුණු  හතරකින් සමන්විත ව කටයුතු කළ  අතර  මේ වන විට ඉන් පළමුවැන්න වූ අතුරුදහන් වූවන් සඳහා කාර්යාලය පිහිටුවා අවසන්ය. ඉන් අනතුරු පනත් හයක් සම්මත කරමින් ජිනීවා වලට වගවීම සහතික කළේය.අවසාන පනත වන්නේ සත්‍ය සෙවීම සහ ප්‍රතිසන්ධාන පනතයි. වත්මන් ආණ්ඩුව විසින් 2024/08/05 දින මේ පනත ගැසට් පත්‍රයකින් පළ කර ඇත.  එය නුදුරු දිනකදී පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලු කිරීමට නියමිතය.

        යහපාලන සමයේ  අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව සංහිඳියා ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලබන්නේ 2015 දෙසැම්බර් 18 දිනදීය.පාකියසෝති සරවනමුත්තු මහතා එහි ලේකම් වරයා විය. මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය එහි සභාපතිනියයි. ගාමිණි වියන්ගොඩ විසාකා ධර්මදාස ශාන්තා අභිමානසිංහම් මහාචාර්ය චිත්‍රලේඛා මානගුරු කේ.ඩබ්.ජනරංජන දයා සෝමසුන්දරම් අචාර්ය ෆර්සානා හනීෆා මහාචාර්ය ශමිලා සරමරසිංහ සහ මීරාක් රහීම් එහි සෙසු සාමාජිකයන් වශයෙන් සිටියහ. එහි කාර්ය භාරය වූයේ සත්‍ය හා යුක්තිය ස්ථාපනය කිරීම මානව හිමිකම් උල්ලංඝණය වගවීම් සහතික කිරීම යනාදියයි.එහි යට අරුත නම් දෙමල ජනතාව යුද්ධයේදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ සත්‍ය සෙවීමයි.විශේෂයෙන්ම යුද්ධය ආශ්‍රිතව මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ සත්‍යය සෙවීම විශේෂ විය. මීට ප්‍රථම පරණගම කොමිසම මගින්ද එවැනි වාර්තාවක් සකස් කලද එය පිළිගන්නට දෙමල නාකයන් කැමති වූයේ නැත. මෙම ලේකම් කාර්යාලය  කොළඹ රැස්වීම් වාර කීපයක් පවත්වා තිබුණි. ඉන් පළමුවැන්න වන්නේ ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීම උදෙසා පැවැත්වූ සම්මන්ත්‍රණයයි. හමුදා නිළධාරීන්ගෙන්ද සාක්ෂි විමසීමට නියමිත බව මෙහි සඳහන්ව තිබීම මීට හේතුවයි. මීට අමරතව ගිහි ආගමික නායකයන් දැනුවත් කිරිමටද 2016 ජූලි නව වනදා රැස්වීමක් පවත්වා තිබුණි. ජමාත් ඉස්ලාම්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාව, ජාතික ෂූරා සභාව, සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය, සමස්ත ලංකා හින්දු සම්මේලනය , තරුණ බෞද්ධ සංගමය ,ජමාත්අත්සලාමාහ් සහ ක්‍රිස්තියානි ආයතනය පමණක් මෙයට සාභාගි කරවාගෙන තිබුණි.

        සංහිඳියා ලේකම් කාර්යාලය සිය ප්‍රවිචාරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම උදෙසා ප්‍රශ්ණ මාලාවක් ජනතාව වෙත ඉදිරිපත් කර තිබුණි. එහි අන්තර්ජාල පෝර්මයක්ද තිබූ අතර එහි 7ඒ වගන්තිය මගින් කියැවුණේ සත්‍ය සෙවීමේ කෙමිසම සම්බන්ධ කටයුතු කුමන කාලසීමාවක් තුළ අවසාන කළ යුතුද යන්නයි. එසේම එහිම 7 බී වගන්තිය තුලින් අසන ප්‍රෂ්ණය නම් මෙම කමිටුවේ සේවය කළ යුත්තේ කවුරුන්ද යන්නයි.  7 සී මගින් අසන ලද ප්‍රශ්ණය නම් ලැබෙන තොරතුර අනුව කුමක් සිදු කල යුතුද යන්නයි. 8 ඒ ප්‍රශ්ණය ඉතා වැදගත් විය. අධිකරණ යාන්ත්‍රණය ගැන එහිදී විමසයි. කුමන ආකාරයේ උල්ලංඝණය කිරීම් සම්බන්ධව කටයුතු කළ යුතු දැයි එහිදී විමසයි.එසේම එම අධිකරණයට සේවය කල යුත්තේ කවුරුද යන්න ඊළඟ ප්‍රශ්ණයයි. එසේම විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේද යන්න එහිදී විමසා තිබේ. 9 ඒ සිට 9 ඩී දක්වා අසන ප්‍රශ්ණ නම්  අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවිය යුතුද මෙම ගැටළු සඳහා කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද එහි සේවය කළ යුත්තේ කවුරුන්ද ලැබෙන තොරතුරු අනුව කුමක් සිදු කළ යුතුද යන්නයි.11 වන වගන්තිය මගින් ප්‍රකාශ වන්නේ යුද්ධයේ මූලාරම්භයට මූලික වූ හේතු ආමන්ත්‍රණය කිරීමටත් ගැටුම් නැවත ඇති වීම වැලැක්වීමටත් රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග කෙලෙසක වියයුතුද යන්නයි.එසේම විවිධකාරයෙන් ප්‍රචන්ඩත්වය වැනි සිදුවීම්  රජය විසින් පිළිගැනීම සිහි කිරීම සහ සැමරීම සිදු කළ යුත්තේ කෙසේද මෙය සිදු කල යුත්තේ ජාතික වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන්ද යන්න විමසීමයි.

                    ඉහත සඳහන් ප්‍රශ්ණ මාලාව අනුව උත්තර ලබා ගැනීමද මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලියේ අරමුණ වී තිබුණි. උදාහරණයක් වශයෙන් අධිකරණ යාන්ත්‍රණය ගැන අසන ප්‍රශ්ණයේදී මෙහි සේවය කල යුත්තේ කවුරුන්ද යනුවෙන් අසන විට එයට විශේෂ විනිසුරුවරුන් සභාගි කරගත යුතු යයි උත්තර ලබා දීමට ජනතාව පොළඹවනු ලබති. ඒ සඳහා මෙම ප්‍රශ්නාවලිය ජනතාව අතරට ගෙන යන නිළධාරීන්ට උපදෙස් සපයා දී තිබුණි.එසේම යුද්ධයේදී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි අසන විට. (සත්‍ය දැන ගැනීමද අපරාධ පිළිබඳ වගවීමද දඬුවම් දීමද හානිපූරණයද ) උත්තර ලබා දිය යුතු වන්නේ දඬුවම් දීම සහ හානි පූරණය යනුවෙනි. සංහිඳියා ලේකම් කාර්යාලයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ඇරුණු කොට මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සඳහා දෙමළ ගෝලීය සංසදය විසින් මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධානද ඇමරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක ක්‍රිස්තියානි කණ්ඩායම්ද දෙමල ජාතික සංවිධානයද සාභාගි වී තිබුණි. ඒ සම්පූර්ණ ක්‍රියාවලියේම අරමුණු වූයේ සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමට සහ යුධ අපරාධ විනිශ්චය කිරීමට විශේෂ යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමයි.

       යහපාලන රජය හමාර වී ගෝඨාභය පාලන සමයේ දී මේ රණ විරුවන් සම්බන්ධ ව තිබෙන ප්‍රශ්නය නිරාකරණය කිරිමට ඉඩ තිබුණි. මන්ද ‌ෙඑතිහාසික වශයෙන් මෙරට ස්වාධින තවය උදෙසා සටන් කල හමුදා සාමාජිකයන් මෙන්ම සෙන්පතියන් ආරක්ෂා කර ගැනීමට ද ගෞරව පිරිනැමීමට සම්ප්‍රදායක් තිබුණු බැවිනි. පනාකඩුව සන්නස වැනි පැරණි ලේඛන වලින් සනාථ වන්නේ විදෙස් සතුරු ආක්‍රමණිකයන් නිසා අසරණවූ රාජ්‍යය සෙමෙහි තබා ගැනීමටද රජ දරුවන් ආරක්ෂා කර ගැනීමටද කැප වූවන් වෙනුවෙන් කරන ලද ප්‍රදාන සහ අභය දානයයි.වර්තමානයේ  ඉදිරිපත් කළ සත්‍ය සෙවීමේ කොමිසම සම්බන්ධ ගැසට් පත්‍රය තුළින් පැණ නැගෙන ඊළ ඟ අදියර නම් රණ විරුවන්ට දඬුවම් දීම සඳහා පිහිටුවන  විදෙස් අධිකරණ යාන්ත්‍රණයකි.එදා යුද්ධ සමයේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඇමරිකන් තානාපතිවරයාට ලබා දුන් තොරතුරු මේ චෝදනාවට මූලික වී ඇත. ඊට පසුව ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් එකතු කළ බොරු සාක්ෂි සටහන් කර සකස් කළ වාර්තාව තැන්පත් කර තිබූ ජාතික ලේඛතාගාර මූලාශ්‍ර ඩිජිටල් කිරීමේ මුවාවෙන් මනාව හිමිකම් සංවිධාන වලට සපයා දීමෙන් මේ වැරදි සහගත තොරතුරු ජාත්‍යන්තර කරණය වී තිබේ.යුද්ධය අවසන් වී වසර දාහතරක් ගතව තිබිය දී පවා මේ තුවාළය පාරමින් ත්‍රිවිධ හමුදා සාමජිකයන් පීඩාවට පත් කිරීමේ අරමුණ වන්නේ විදෙස් යාන්ත්‍රණයට අවශ්‍ය වන ලෙසට හමුදාව හීලෑ කර ගැනීමයි. පසුගිය අරගල සමයේ දී අප ඒ බැව් හොඳින් දැක බලා ගතිමු.දැන් මේ සත්‍ය සෙවීමේ කොමිසම හරහා සාක්ෂි ආඥා පනත බල රහිත වේ. බොරු සාක්ෂි ඉදිරිපත් කරන්නන්ට දඬුවම් පැමිණවිය නොහැකිය.යම් සිද්දියකට සම්බන්ධ කමක් නොමැති හමුදා ප්‍රදානියෙකුට වුවද අවශ්‍ය පියවර නොගැනීම යයි කියමින් වරදකරුවකු කළ හැකිය. කොමිසමේ සහායට විෂේෂයෙන්ම තාක්ෂණික සහායට විදෙස් විශේෂඥයන් කැඳවිය හැකිය.මේ අකාරයට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් කොටුකර පිටුවහ්ල කිරීමකට පවා බැඳිය හැකි වගකීමකට රජය පත්වන බව කිව යුතුය. මේ කොමිසම් වාර්තාව ඉදිරිපත් කල පසු එන්නේ ප්‍රතිසන්ධානයයි. එහි අරමුණ නම් දෙමළ ජනයාට සාධාරණයක් වන ලෙසට උතුර සහ නැගෙනහිර පෙදෙස්වලට අවශ්‍ය බලය බෙදීමේ ක්‍රියාවලීය සම්පූර්ණ කිරීමයි.

       ජනපතිවරණ සටනේ සිටින ප්‍රමුඛතම අපේක්ෂකයන් තිදෙනාම එනම් රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන තිදෙනාම සිය ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් බලය බෙදීමට ඒකඟතාවය පළ කර ඇත. පළාත් සභා තබා 16 වන සංශෝධනය සවිමත් ලෙසට ක්‍රියාත්මක කරන්නේ යැයිද සත්‍ය සෙවීමේ කොමිසම වඩා පුළුල් කර ක්‍රියාත්මක කරන්නේ යැයද අනුර දිසානායක පැහැදිලි ලෙසට ප්‍රකාශ කර තිබේ.ඒ නිසා කවුරු බලයට පත් වුවද ජනපතිවරණයෙන් පසුව ලංකාව තුළ සිදු කිරීමට යෝජිත විදෙස් ක්‍රියාවලින්ට විරුද්ධ වන කණ්ඩායම් නිෂේධ කිරීම පිණිස මේ කොමිසම මගින් බෙලහීන කරන ලද ආරක්ෂක හමුදා යොදා ගැනීමට සිටින්නේ ද යන්න විමසා බැලිය යුතුය.

 මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress