87-89 අත ළඟ: මාධ්‍යවේදීන්ට මාලිමාවෙන් මරණ තර්ජන
Posted on September 14th, 2024

රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය. උපුටා ගැන්ම බෝධි සභාව

එරික් ගාමිණි ජිනප්‍රිය, ‘ඉරිදා දිවයින” පත්‍රය හරහා රටට සිය බුද්ධිමය සේවයක් කළ  ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකි. ‘ දිවයින’ පත්‍රයටද මෙතුවක් කල් රටේ ජනතාව ආදරය කෙළේ එම පත්‍රය ජාතිය, ආගම, සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින්නේයයි විශ්වාස කළ නිසාය.

මේ මස 4 වැනිදා, ඔහු මෙතුවක් ලියු ලිපි සේම වැදගත් කරුණු සහිත පොතක් ලියා එය දොරට වඩම්මන්නට උත්සවයක් පවත්වන්නට යෑමේදී බරපතල තර්ජනාත්මක තත්වයකට මුහුණ පා ඇත. අපට දැන ගැනීමට ලැබුණ කරුණු අනුව ජවිපෙ/මාලිමාව විසින් ‘දිවයින’ පාලනාධිකාරියට කළ බියගැන්වීමට අනුව ඔහුගේ වැඩ තහනම් කොට තිබේ. මුද්‍රිත පොත් පුළුස්සා දමන ලෙසද තර්ජන ලැබී තිබේ.

පොතේ නම, NPP කතාව JVP ක්‍රියාව” ය. උත්සවයේදී පොත පිළිගන්වා ඇත්තේ බෙංගමුවේ නාලක, ඕමාරේ කස්සප යන හිමිවරුන්ටය. එරික් ගාමිණිට වූ ජීවිත තර්ජනයට හා රැකියාව අහිමි කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා තවත් පිරිස් විරෝධය පා තිබේ. 14 වැනිදා Sunday Observer පත්‍රයේ, ‘Eric Gamini Jinappriya’s book launch, death threats to Marians and the Election commission.’ යනුවෙන් ලිපියක් පළව තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළේ කොහොම වෙතත් 5000ක් පමණ සිටින මගේ මුහුණු පොතේ ලේඛක-ලේඛිකාවන් කිහිප දෙනෙකුත් මාධ්‍යවලට සම්බන්ධ කිහිප දෙනෙකුත් සිටිති. එයින් කිසිවෙකුම හෝ සහෝදර මාධ්‍යවේදියෙකුට මුහුණ පාන්නට සිදු වූ මේ භයානක තත්වය ගැන වචනයක්වත් ලියා නැත. ඊටත් වඩා පුදුම සහගත කරුණ නම් ඔවුන්ගෙන් ඇතැමෙකු මාලිමාවට සම්බන්ධව හා හිතවත්ව සිටීමයි. ජවිපෙට මහත් මෙහෙයක් කොට පසුව ඉවත්වී පොළක වෙළදාම් කරමින් ජීවත්වූ නන්දන මාරසිංහ” මරාදැමූ අනුරාධපුරයේම ජීවත්වෙන ඇතැම් කලාකාර- කලාකාරියන්ද මාලිමා වේදිකාවලය. බලය ලැබෙතැයි යන උඩඟු ගණන්කාර මාන්නය මත මාධ්‍යවේදියෙකුට කරන මේ ජීවිත තර්ජනය ගැන ඔවුන් කියන්නේ කුමක්ද?

එකල ඍජුවම ඇඟට දැනෙමින් තිබු ජේ.ආර්. ගේ මර්ධනීය පාලනය ගැන ධර්මිෂ්ඨ සමාජය පොත ලියා මේ අයුරින් ජනගත කිරීමට ගොස් මහාචාර්ය සරත්චන්ද්‍රට කානුවක දමාගෙන පහර දුන්නේය. ඇත්ත පත්‍රයේ යුනුස්” පිහි ඇනුම් කෑවේය. ඊටත් පසු සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ, ප්‍රේම කීර්ති, රිචඩ් ද සොයිසා මැරුම් කෑවේය. තවත් පසුවී රෝහණ කුමාර, ලසන්ත වික්‍රමතුංග මැරුම් කා උපාලි තෙන්නකෝන් පිහි ඇනුම් කෑවේය.

මේවාට විරැද්ධව ගිරවුන් මෙන් දෙඩවූ ඇතැමුන් දැන් මීක් නැත.

පොත කියවීමට මට තවම නොලැබුනත් එරික් ගාමිණි ලියන්නට ඇත්තේ අනාගතයේ නිසැකවම සිදුවිය හැකි දේය. ඔහුට සිදුවූ මේ බරපතල තර්ජනයට, අසාධාරණයට විරුද්ධ වීමට කොන්දක් හා හෘද සාක්ෂියක් නැති මාධ්‍යවේදීන්, ලේඛක- ලේඛිකාවන් ඇත්තටම මොක්කුද?

මරු ! පත්තරකාරයෝ! මරු! ලේඛක ලේඛිකාවෝ!! ඊටත් වඩා මරු දිවයින !!!

බලයක් නැතිව මෙහෙම නම් බලයක් ලැබුණොත් කොහොම හිටීවිද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress