මැතිවරණ තරඟ නිසා රට නැති වෙයි ද?
Posted on September 26th, 2024

මතුගම සෙනෙවිරුවන්

              සාමකාමී බල හුවමාරුවකින් පසු පත් වූ නව ජනපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා තිබේ.නොවැම්බර් මාසයේ මහ මැතිවරණයක් තැබීමටත් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් සැලසුම් කරගෙන යන බව දැන ගන්නට ඇත.මැතිවරණ පෝළිමක් පැමිණෙන විට නැවතත් පෝළිම් යුගයක් ඇති වීමට යම් ඉඩකඩක් තිබේ දැයි විමසා බැලිය යුතුය.මන්ද පාර්ලි මේන්තු මැතිවරණයට පමණක් රැපියල් මිලියන එකොලහක් වැය කළ යුතු හෙයිනි. දැනට රටේ තිබෙන මුදල් සංචිතය ඩොලර් මිලියන හය දහසක් පමණකි. දේශීය ණය ප්‍රමාණය ද පසුගිය පාලන සමයේ දී විශාල වහයෙන් ඉහළ ගොස් තිබේ.

           2024 වර්ෂයේ පැවති ජනපතිවරණය ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු කළ අවස්ථාවකි.ඒ අවස්ථාව ලබා ගැනීමට විශාල දුෂ්කාතාවයන්ට මුහුණ දීමට සිදු විය.චන්දය භාවිත කල ජනගහනයෙන් සියයට හතලිස් තුනක ප්‍රතිශතයක් ලැබුණද අනුර කුමාර දිසානායක මහතා මේ වන විට රටේ ජනපතිවරයා බවට පත් වී තිබේ.ඒ පත්වීම රටේ මිනිසුන් ප්‍රාර්ථනා කරන ලද වෙනසක් මල් ඵල දැරීමක් විය.. මෙකී වෙනස 2015 දී ලැබුණේ ද නැත. 2019 දී ලැබුණේ ද නැත. 2022 දී  ලැබුණේ ද නැත.සියල්ලෝම පුරුදු පරිදි ජනතා පරමාධිතපතය නොසලකා හැර ජාතික සම්පත් මංකොල්ල කෑමේ නිරත වූහ. එසේම රට උගසට තබා බලය තහවුරු කර ගැනීමට උත්සුක වූහ.විශාල ණය කන්දක බර මුළු මහත් ජනතාව පිට පැටවී ඇත්තේ ඒ නිසාය.ජනපතිවරණය තුල ඉස්මතු වූයේ මෙයින් මිදීම සඳහා නව නායකත්වයක් රටට අවශ්‍ය කරන බවයි.

           රටේ ආර්ථිකය ඉතාම පහළ මට්ටමක පවතින අතර රටේ නිෂ්පාදන ධාරිතාවයන් වර්ධනය කර ගැනීමට ජනතාව  අභිප්‍රෙරණය කිරීමේ   උත්සාහයන් දැරීමට කිසිවෙක් සමත්ව නැත.ඒ වෙනුවට රටේ සොර උවදුර සහ පාතාලය හිස ඔසවා තිබේ.රටක පවතින සොරකම් නැති කරගත හැක්කේ කෙසේද යන්න චක්‍රවර්තී සීහනාද සූත්‍රයේ දක්වා ඇත්තේය. එනම් පාලකයා විසින් ගොවියාට බීජ දෙනු ලැබිය යුත්තේය කර්මාන්ත කරුවන්ට ද වෙළෙන්දන්ටද අවශ්‍ය සම්පත් දිය යුත්තේය. රාජකාරියෙහි නියුක්ත වූවවනට නියමිත පරිදි වැටුප් දිය යුත්තේය. එවිට රට සමෘද්ධ වන අතර වැසියන් නිරන්තරයෙන් කාර්යයන්හි නිරත වීම නිසා සොර උවදුරු නැතිවන්නේය. රාජ භාණ්ඩාගාරයද තරවන්නේ ය යන්නයි.මෙම ආදර්ශයන් කිසිවෙකු පිළිපදී නම් රට කරවීම පහසුය.ගැටළුව වන්නේ උසස් තනතුරකට පත් වූ පසු ඇති වන ප්‍රභූ මානසිකත්ව තුළ හරි වැරැද්ද දැකීමට අවස්ථාව නැති වීමයි.

      රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලයේ රටේ ආර්ථිකය ගොඩ නැගුවා යැයි උදම් ඇනුවාට ඔහු කළ ලොකුම මෙහෙය නම් රටේ ඩොලර් සංචිත ඉහළ නන්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අමුදලෙන් ණය ගැනීම පමණකි. මේ ණය ගැනීමත් සමග ජාත්‍යන්තර විශ්වාසය ඇතිවිය. ඒ වර්තමාන ලෝකයේ ආර්ථික ආධිපත්‍යයේ ස්වභාවයයි. පාලකයෙකු වෙනස් වන කල්හි කොටස් වෙළඳ පළ සීඝ්‍රයෙන් බිඳ වැටීමට ලක් වන්නේ නම් නව පාලකයෙකු පැමිණ පෙර පරිදිම කටයුතු කරන විට කොටස් වෙළඳ පළ යළි නගීනම්  ඉන් පෙනෙන්නේ මේ මිළ දර්ශකයන් සියල්ල පාලනය කිරීමට යම් කිසි අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවයි. ඉලක්කම් හරඹය කෙසේ වෙතත් රටේ ජනතාවගේ බඩ කට පිරවා ලීම රටේ පාලකයා ගේ පරම යුතු කමයි. පාරිභෝගිකයාට සාධාරණ මිළකට බඩු ලබා ගැනීමට හැකි වන පරිදි වෙළඳාම සමබර කර ගැනීමටද ඔහු සමත් විය යුතුය. සංවර්ධනය යනු මහා මාවත් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් පමණක් සාදමින් රට ණය කිරීම නොවේ. එවැනි පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රය ශක්තිය රටේ ජනතාව තුළින්ම ලබා ගැනීමයි.

         ජනපතිවරණය අවසන් වූ වහාම ජනපතිවරයා සීමිත ඇමති මණ්ඩලයක් පිහිටුවා ලූහ.එයට අයත් වූයේ ජාතික ජන  බලවේගයේ සාමාජිකයන් පමණකි.ඒ පියවරෙන් අපට පෙනෙන්නේ රට නියෝජනය කරන අනෙක් මහජන නියෝජිතයන් නොසලකා හැරි ආකාරයයි.ආර්ථික අතින් ශක්තිමත් පසුබිමක රටේ විවිධ දේශපාලන කරණම් ගැසීමට කිසිම අවහිරතාවයක් නැත. එහෙත් ඉතාම අසීර අඩියක රට පවත්නා විට. රට නැවත සෙමෙහි පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කළ යුතු වෙයි. ජනතා විශ්වාසය ගොඩ නගා ගැනීමට අපක්ෂපාතිව වැඩ කළ යුතුය.පාර්ලිමේන්තු නියෝජිත‌ෙයකුට වඩා ජනපති වූ පුද්ගලයාගේ  ප්‍රධාන වගකීම එයයි.රට තුළ ජීවත් වන සැම පුර වැසියෙකුම එනම් විවිධ පක්ෂ නියෝජනය කරන්නවුන් විවිධ ජනයින් නියෝජනය කරන්නවුන් සහ ආගම් නියෝජනය කරන්නවුන් සමග විශ්වාසය ගොඩ නගා ඊට නායකත්ව සැපයීම සිදු විය යුතුය.. පස්වන කාශ්‍යප රජු අනුරාධපුර යුගයේ රජකල ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි. ඔහු අනුරාධපුර නගරයේ විවිධ තැන් වල පිහිටුවා ලූ ශිලා ලේඛන මගින් ඔහු කල සේවයද ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය ද මොනවට පැහැදිලි වෙයි. ජේතවනාරාමය අසළ ඇති රත්න ප්‍රාසාද භූමියේ ඔහු විසින් පිහිටු වා ලූ පුවරු ලිපිය එදාටත් අදටත් ඉතා වැදගත් පණිවුඩයක් පාලකයන්ට ලබා දී ඇත.අනුරාධපුර පසු භාගයේ රටට ඇති වූ විවීධ සතුරු ආක්‍රමණ නිසා රට අස්ථාවර වූවායින් පසු නැවත රට එක සේසත් කිරීමට රජවරු උත්සුක වූ අතර පස් වන කාශ්‍යප රජු මේ යුද්ධ නිසා රට තුළට පැමිණ පැලපදියම් වූ විවිධ ජනයින් සඳහා ඉතාමත් සාධාරණ යෝජනාවක් අණක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. රත්නප්‍රාසාද ලිපියේ නවවන පේළියේ එය සඳහන් වන්නේ ‘නන් සෙයින් නන් ජැයින් බුද් බන්ද කර’ යනුවෙනි. නානා ජාතීන් නානා ආකාරයට බුද්ධ ශාසනයට සම්බන්ධ කර යුතු වෙයි යන්න එහි තේරුමයි.

     මෙම උදාර පරමාර්ථය සාක්ෂ්‍යාත් කර ගැනීමට රටට නිවැරදි නායකත්වයක් අවශ්‍ය වෙයි. 2024 දී නව ජනපතිවරයෙකු රටට පත් කර ගන්නා ලද්දේ එහෙයිනි. ඔහු එම කාර්යය පසෙක තබා තමන්ගේ පක්ෂයේ බලය වර්ධනය කර ගැනීමට සහ අනෙකුත් ජනතා බලවේග ශූන්‍ය කරලීම සඳහා මහා මැතිවරණයකට  දින නියම කරගෙන ඇත. මෙයින් සිදු වනුයේ රටේ සාමය නැවත බිඳ වැටීමයි. දෙවනුව රටේ බෙදීම් වර්ධනය වීමයි. පක්ෂ රාශියක් මැතිවරණය තරඟ බිමට පැමිණීම නිසා එය එලෙස සිදු වනු ඇත. ඉන් පසු රටේ ආර්ථිකය තවදුරටත් බිඳ වැටෙනු ඇත.ආර්ථිකය බිඳ වැටීමෙන් පසු රටේ සම්පත් නැවත විකිණීමටත්  සිදු වනු ඇත. මෙය සිදු වන්නේ ‌නව චෞර වළල්ලක් නිර්මාණය වීමෙනි.පසුගිය කාලයේ සිදූ වූ අරගල නැවත ඇති වීම එවිට සිදු වුහොත් විදේශීය බලවේගයන්ට රටේ ස්වාධීනත්වය අහිමි කරලීමට පසුබිම සැකසෙනු ඇත.අප එයට ඉඩ නොතැබිය යුතුය. ඒ සඳහා දැන් රටේ නායකත්වයක් බිහි කර අවසින්ය. නමුත් ඒ නායකත්වය ද නොමග යන්නේ නම් ඒ නොමග යෑමට තව තවත්  උල්පන්දම් දෙන්නේ නම් කිසිවකුටත් උපකාරයක් කරලිය නොහැකි වනු ඇත.ගෝඨාභයගේ ආදර්ශය නැවත සිහිපත් කරලීම වටී.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress