මහ ඡන්දෙට නොඑන ප්‍රබල දේශපාලකයෝ (වීඩියෝ)
Posted on October 10th, 2024

උපුටාගැණීම හිරු පුවත්

මින් පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ මෙරට දේශපාලනයේ තවත් ප්‍රබල චරිත රැසක් ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා.

මේ වන විටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් තරග නොකරන බව සඳහන් කර ඇති අතර එසේවුවහොත් ඔහු 1977න් පසුව මෙරට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පළමු අවස්ථාව මෙය වනවා.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු වන මෛත්‍රීපාල සිරිසේන ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන අතර මෙරට දේශපාලනයේ ප්‍රබල චරිතයක් වන ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීම මෙරට දේශපාලනයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් වනු ඇති.

මීට අමතරව ලක්ෂමන් කිරිඇල්ල, හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු රාජ්‍ය අමාත්‍ය ඩීබී හේරත්, හිටපු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, හිටපු අමාත්‍ය සී.බී. රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ අකිල විරාජ් කාර්යවසම්, සබරගමු පළාත් හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක යන අයද මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්තිගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඇත්තේ විශාල කම්පනයක් සහ කලකිරීමක් බවයි.

එබැවින් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරපත් නොවන බව ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress