ගම්මන්පිල පෙරලන පාස්කු බාල්දියට ජනපතිගෙන් දැඩි ප‍්‍රහාරයක්..
Posted on October 20th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පත්කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

2019 පාස්කු බෝම්බ ප්‍රහාරය බලය ගැනීම සඳහා කුමන්ත්‍රණකාරීව භාවිතා කළ අය අද නැවතත් නින්දෙන් අවදි වී විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටින බවත් ඔහු චෝදනා කළේය.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහ පාලනයේ වාර්තා මිස විමර්ශන වාර්තා නොවන බවද පැවසූ ඔහු එම වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාටත්, අගරදගුරු මණ්ඩල ලේකම්වරයා වෙතත් යොමු කර ඇති බවද හෙතෙම පැවසුවේය.

එනිසා එම වාර්තා කිසිවක් රහස්‍ය වාර්තා නොවන බවද පැවසූ ජනාධිපතිවරයා දැනටමත් අදාල ආයතන වලට යොමු කර ඇතැයිද කියා සිටියේය.

නමුත් ඇතැම් කමිටු නිර්මාණය කරන ලද්දේම මෙම පරීක්ෂණ යටපත් කිරීමේ අරමුණින් බවද පැවසූ ඒ මහතා එනිසා ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් අරඹන ලෙස රහස් පොලිසියටත් පොලිස්පතිවරයාටත් උපදෙස් ලබා දී ඇති බවද පැවසුවේය.

ජාතික ජන බලවේගය පෙරලන බාල්දිවලට අහුවෙන්නේ නැති බවත් බාල්දි පෙරන අයට ඉඩ දෙන්නේද නැති බවත් හෙතෙම කියා සිටියේය.

කටුනායක ප්‍රදේශයේ දී පැවති ජාතික ජන බලවේග ප්‍රචාරක ජන රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

විශේෂයෙන්ම අවධානය යොමුකළා පාස්කු ප්‍රහාරය ගැන. අපි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණය සඳහා සුදුසු දෙපාර්තමේන්තුවක් බවට පරිවර්ථනය කළා. දැන් එතකොට කට්ටිය කලබලා වෙලා තියෙනවා. 2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න පාස්කු ප්‍රහාරය මතුර මතුර ගියපු අය අවුරුදු 5කට පස්සේ අවදි වෙලා. දැන් කියනවා අර වාර්තාව දෙන්න, මේ වාර්තාව දෙන්න කියලා. ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා. ඒ දෙකම විමර්ශන කමිටු නෙමෙයි. මම එනකොට හිටපු ජනපති ලේකම්ගෙන් ඇහුවා ඒ වාර්තාවලට මොකද වුණේ කියලා.

රනිල් වික්‍රමසිංහගේ වුවමනාව තිබුණේ මේ පරීක්ෂණය යටපත් කිරීමට. අපි පොලිස්පතිවරයාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් උපදෙස් දුන්නා පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණය ආරම්භ කරන්න කියලා. අන්න එතකොට කෝමා වෙලා හිටපු අය අවදි වුණා. ඒක කඩාකප්පල් කරන්න, අකුල් හෙලන්න. මේ පුද්ගලයාගේ මැදිහත්වීම සැබෑ වරදකරුවන් සොයාගන්න නෙවෙයි.

ඒ නිසා අපි ඒවට යට වෙන්නෙත් නැහැ, ඒවාට හිරවෙන්නෙත් නැහැ. අපි සාධාරණ පරීක්ෂණයක් කරලා ඇත්ත හෙළිදරව් කරනවා. අපිට මොනවාද හංගන්න තියෙන්නේ? කවුද බේරන්න තියෙන්නේ?. ජාතික ජන බලවේගයේ අපි පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නෑ, බාල්දි පෙරළන අයට ඉඩදෙන්නෙත් නෑ”.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress