ජනතාවගෙන් බලය ලබාගෙන රාජ්‍ය නිලධාරින්, පසුපස යන අපේ රාජ්‍ය නායකයෝ
Posted on October 20th, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ

බලය ඇත්තේ ජනතාව තුලය.. බලය ඉල්ලමින් ජනතාව අමතන දේශපාලකයින්, බලය ලැබුන පසු හැරෙන්නේ රාජ්‍ය නිලධාරින් දෙසටය. තමන්ට ලැබුන බලයට වඩා බලයක් මේ රාජ්‍ය නිලධාරින් තුල ඇත. ඒ බව නොදත් දුර්වල දේශපාලඥයා, ජනබලයෙන් උදම්ව සර්බලධාරියෙකු සේ වැඩ ආරම්භකර පසුව, රාජ්‍ය නිලධාරියාගේ බලය, ඉදිරියේ, නිවටයෙකු සේ කටයුතු කිරීම ආරම්භ කරයි. රාජ්‍ය නිලධාරියා දෙවියකු බවට පත්ව, ඔහු ඉදිරියේ, ජනාධිපති, අගමැති හා මැති ඇමතිවරු භක්තිමත් බැතිමතුන් බවට පත්වේ. මේ සිදුවීම එදා මෙන්ම අදටද වලංගුය. එදා දුෂිත නිලධාරින් යයි හැදින්වූ ඒ නිලධාරීන්ව, බලධාරී ලෙස පත් කිරීමට  මේ දේශපාලඥයින්ටද සිදුව තිබේ, එය මේ දේශපාලන ක්‍රියාවලිය තුල සියල්ලන්ටම උරුම පොදු ධර්මතාවයකි.

ව්‍යාවස්ථාව, නීතිරීති වලින් බැද දමන දේශපාලඥයා හීලෑ කරගත් වල් අලියෙක් සේ නිලධාරින්ට අවැසි විදියට කටයුතු කිරීම පසුව සිදුවන ක්‍රියාවලියයි. මෙය වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මුහුණ දෙමින් සිටින  අභියෝගයකි. මෙය වෙනස් කල යුතුය. වෙනස් කල හැකිය. එය කල හැක්කේ පවතින රාමුව තුල කොටුවීමෙන් නොව, ඉන් එහා තලයකට පිවිස, තමන් බලයට පත්කළ ජනතාව සමග අත්වැල් බද ගැනීම තුලිනි.

අනුර කුමාර දිසානායක මහතාට 5,634,915 දෙනෙක් චන්දය දී ඇත. ඔහු සතු සැබෑ බලය ඇත්තේ ඔහු වටා සිටින දේශපාලඥයින් තුළවත්, ඔහු වටා සිටින රාජ්‍ය නිලධාරින් තුළවත් නොව ඔහුට චන්දය දුන් මේ පිරිස තුලය. මේ පිරිසෙන්, 634,915ක් ජන කණ්ඩායමක් අනුර කුමාරයන්ව දකින ආකාරයත්, 5,000,000ක් ඔහු දෙස බලා සිටින ආකාරයත් අතර විශාල පරස්පරයක් ඇත. පළමු කණ්ඩායම තමන් විශාල ජයග්‍රහණයක් ලබාගත්තා යයි උදම්වෙන අතර, දෙවන කණ්ඩායම රට තුලට වැඩවර්ජන දියත් කරමින් මහා මාර්ගවල පෙළපාලි යමින් මුළුමහත් රටත් ජන ජීවිත අඩාල කල ඒ මහා වලත්ත  දේශපාලනයෙන්, රට මුදාගැනීමේ සතුට බුක්ති විදිමින් ඇත. රටට වැඩ වර්ජන හා පෙළපාලි තුලින් විනාශ කල මහා ධන්ස්කන්දරාව යලි රටට ලබාදීම සම්බන්ධ සතුටු සිතින් ඔවුන් බලා සිටී.

අද රෝගීන්ට රෝහල්වලට ගොස් ආපසු හැරී එන තත්වය නැවතී ඇත, පාසල් දරුවන්ට ඉගෙන ගැනීම නවතාලන තත්වයද නැවතී ඇත. විශ්ව විද්‍යාල දරුවන්ට පෙළපාලිවලින් තොරව සිය අධ්‍යාපන කටයුතු වල නිරතව රටෙත් ජනතාවගේත්, අනාගතයට මෙහෙවරක් කිරීමේ භාග්‍ය උදාකරදී ඇත. පොලීසියට වෙහෙසකර වර්ජන හා පෙළපාලි මර්ධන කටයුතු වලින් තොරව කටයුතු කිරීමට හැකි තත්වයක් උදාවී ඇත.

මේ සියලු තත්වයන් නිර්මාණය කරනු ලැබුවේ, එදා ගෝඨාභයට බලය දුන් 5,000,000 ජන කණ්ඩායමක් විසිනි. මේ තීරණාත්මක ජන සමුහය රට සුරකින බලවේගය වන අතර ඔවුන් ලබාදුන් ජනවරම සුරැකිය යුතුය. නමුත් එය මෙරට සිටින අධිරාජ්‍යවාදී තානාපතිවරු හා වරියන්ගේ, අවශ්‍යතාවය නොවේ එබැවින් ඔවුන් විසින් මෙහෙය වනු ලබන රාජ්‍ය නිලධාරීන්ට මේ රජය සුරැකීමට වඩා විදේශීය අවශ්‍යතා සම්පුර්ණ කිරීමට සිදුවීම නවතාලිය හැකි කරුණක් නොවේ. ඒ බව මේ ජනකන්දයම ඉතා හොදින් අවබෝධ කරගෙන සිටී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress