ජංගම දුරකතන වෙත අපේක්ෂක ප්‍රවර්ධන කෙටි පණිවුඩ යොමු කිරීම
Posted on November 12th, 2024
රජිත් කීර්ති තෙන්නකෝන්
රජිත් කීර්ති තෙන්නකෝන්
482/4 රාජගිරිය පාර,
රාජගිරිය.
2024 නොවැම්බර් 12
ජාතික මැතිවරණ පැමිණිලි අංශය,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.
මහත්මාණෙනි,
ජංගම දුරකතන වෙත අපේක්ෂක ප්‍රවර්ධන කෙටි පණිවුඩ යොමු කිරීම
නිහඩ කාල සීමාව තුල ලංකාව පුර සෑම දිස්ත්‍රික්කයම ඡන්දදාකයින් වෙත ඡන්දය ආයාචනා කරමින් ජංගම දුරකත වෙත කෙටි පණිවුඩ ලැබෙමින් පවතී.
මෙම කෙටි පණිවුඩ මැතිවරණ ප්‍රචාරය සම්බන්ධයෙන් වන මැතිවරණ කොමිසමේ උපදෙස්, නියෝග උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රාජ්‍ය නිලධාරීන් (විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව) මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දෙන නියෝග පිළිපැඳීමට බැදී සිටී.
මෙම කෙටි පණිවුඩ යැවීම මැතිවරණ කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ කොමිෂන් සභාව වෙත ලබා දෙන නියෝගයකින් නැවැත්විය හැකිය. තව ද, විදුලි සංදේශන නියාමන කොමිසම එක් ඊමේල් පණිවුඩයකින් මෙම ක්‍රියාව නැවැත්වීම සඳහා ව නෛතික බලය ඇත. මෙයට පෙර එවැනි නැවැත්වීම් පිළිබඳ පූර්වාදර්ශනයන් ද පවතී.
අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය කරමින් ජංගම දුරකතන කෙටි පණිවුඩ සේවාව භාවිත කිරීම වැලැක්වීම සඳහා ඔබගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලමි.
පසුගිය 2019 මහා මැතිවරණයේ දී මේ කෙටි පණිවුඩ සේවාවන් වැලැක්වීමේ අවශ්‍යතාව විවිධ පාර්ශව විසින් අවධාරණය කර තිබූ බව ද, මැතිවරණ කොමිසමේ උගත් පාඩම් /නිර්දේශ ලැයිස්තුවට ඇතුලත්ව තිබූ බව ද මාගේ මතකයයි.
තව ද, යම් හෙයකින් නිහඩ කාල සීමාව තුල කෙටි පණිවුඩ SMS යැවීම මැතිවරණ නීතියට අනුකුල වන්නේ නම්, ඒ බව මැතිවරණයට තරඟවදින අනෙකුත් අපේක්ෂකයින් වෙත ද දැනුම්දීමටත්, එමගින් සම තරඟ බිමක් නිර්මාණය කිරීමට පියවර ගන්නා මෙන් ද කාරුණිව ඉල්ලමි.
මෙයට,
රජිත් කීර්ති තෙන්නකෝන්
පිටපත – කොමසාරිස් ජනරාල් – මැතිවරණ කොමිසම
ලේකම් – මැතිවරණ කොමිෂන් සභාව – මේ පිළිබඳ කොමිෂන් සභාවේ කාරුණික අවධානය යොමු කිරීම සඳහා
සියළුම මැතිවරණ නිරීක්ෂණ සංවිධානය – කාරුණික මැදිහත්වීම සඳහා