රජයේ වෑයම ගොවියාගේ අමුඩයත් ගලවා පළවා හරින්න ද?
Posted on January 18th, 2025

මතුගම සෙනෙවිරුවන්

        2024 මාස් කන්නයේ අස්වනු කැපීම මේ වන විට ආරම්භ වී තිබේ. තද වර්ෂාවක් පැවතිය ද අම්පාර මඩකලපුව වැනි පළාත් වල මේ කටයුතු සීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී.ගොයම් කපා පගා ගැනීමට ප්‍රථම වී කිලෝවක් මිළදී ගැනීම සඳහා සහතික මිළක් නියම කිරීම රජයේ වගකීමයි. එසේ නොකළහොත් අස්වනු වැඩි කොටස එක්කාසු කරන පෞද්ගලික අංශය සිතූ සිතූ ගණන් වලට වී මිළට ගැනීමට උත්සුක වේ. වී සහතික මිළ නියම කිරීම උදෙසා රාජයේ අයතන කීපයක් සම්බන්ධ වේ. පළමු වැනි ආයතකනය නම් කෘෂීකර්ම දෙපාර්තමේන්තුවයි.ඒ යටතේම තියෙන පසුඅස්වනු තාක්ෂණ ආයතනය ද ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය ද මුදල් හා වෙළඳ අමාත්‍යංශය ද අනෙක් ආයතන අතරට ගැනේ.මෙහි නිළධාරීන් ගේ එකමුතුවෙන් වී සඳහා වන නිෂ්පාදන වියදම ගණනය කරන අතර ඒ වියදමට තවත් තුනෙන් එකක් එකතු කිරීමෙන් පසු සහතික මිළි තීරණය කරනු දක්නට හැකිය.

          කමතේ හෝ ලියැද්දේ ආසන්නයටම ගෙනෙන  වෙළෙන්දා ගේ ට්‍රැක්ටරයට හෝ භූතයා හෝ සුනාමිය මගින් ටැංකි වලට පුරවන වී තොග නිසා ගොවියාට ඇතැම් විට කෑමට පවා වී මල්ලක් දෙකක් ඉතිරි නොවේ. මන්ද මාස තුනක් බලා හිඳ වී ගොවිතැන් කරන්නේ ඉතිරි මාස් කීපයේ ජීවන වියදම සරි කර ගැනීමට ය. එසේම ඊළඟ කන්නයේ ගොවිතැන් සකස් කිරීමට ද මුදලක් අවශ්‍ය බැවින් එයද ඉතිරි කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වෙයි.ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වී වගාවේ නිෂ්පාදන වියදම එක සමාන නොවේ. අස්වැන්න ද එක සමාන නොවේ.ඊට හේතුව යන්ත්‍ර සූත්‍ර සඳහා අය කරන මුදලද ශ්‍රමය සඳහා ගෙවන මුදලද වෙනස් වීමයි.භූගෝලීය වෙනස්කම් අනුව ද දේශගුණික වෙනස්කම් අනුව ද අස්වැන්න වෙනස් වීම සිදු වේ.අනුරාධතෙන්නකෝන් මහතා සභාපතිත්වය දරණ මිළනියාමන ගොවිජන සභාව විසින් සෑම කලාපයකටම අයත් දත්ත එකතුවක් සිදු කර තිබේ. එම වගුව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීහු වැඩිම නිෂ්පාදන වියදමක් දරණ පිරිස බවට පත් වේ.එසේම වැඩිම අස්වනු ලබන්නේ ද අම්පාර මඩකලපුව ඇතළු නැගෙනහිර පළාතේ ගෙවීන් විසිනි. අඩුම අස්වනු ලබනු බවට වාර්තා වන්නේ ගාල්ල කළුතර රත්නපුර වැනි දිස්ත්‍රික්කයන් තුළය.ඒවායේ නිෂ්පාදන වියදම ද ඉහළය.

       මේ තත්වය අනුව වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍ය අගය වශයෙන් රුපියල් 116 ක අගයක් වාර්තා‌ වේ.එම මිළට තුනෙන් එකක් එකතු කළ විට රුපියල් 146 ක සහතික මිළක් වාර්ත‌ා වේ. ඉන් පොහොර සහනාධාරයට ගෙවූ මුදල අඩු කළ විට රුපියල් එකසිය හතළික සහතික මිළකට යා හැකිය. නියර රැහීම නියර බැඳීම ගොවියා ගේ ශ්‍රමය යන්ත්‍ර උපකරණ වල කුලිය අස්වනු නෙලීමේ දී වැය වෙන අමතර වැය  මේ සියල්ලම මේ නිෂ්පාදන වියදමට අයත් වේ. මේ තත්වය වසරෙන් වසර වෙනස් වන අතර විශේෂයෙන් ශ්‍රමය සඳහා ගෙවන මුදල් වෙනස් වෙන බව කිව යුතුය.අවසානයේ අක්කරයක වී ගොවිතැනෙන් ගොවියා කන්නයකට ලබන සම්පූර්ණ ආදායම රුපියල් තුන්ලක්ෂයකට අඩුය. ඉන් නිෂ්පාදන වියදම අඩු කළ විට. මාස හයක් ජීවත් වීමට ඔහු අත අත්තේ ලක්ෂයකට අඩු මුදලකි. මාසයකට ඔහුගේ ආදායම රුපියල් 15000 ක් පමණ වේ.වානිජ වශයෙන් වී වගාව පරිවර්තනය වීමෙන් පසු හැත්තෑව දශකයේ සිට මෙවැනි අඩු ආදායම් ලබන ගොවි පරපුරක් රටටම බත සපයමින් ජීවත් වීමම පුදුමයට කරුණකි. වර්තමානය වන විට ගොවි තරුණයන් ගොවිතැන හැර යෑමේ ප්‍රවණතාවය අධික වී තිබෙන්නේ අවම ජීවන මට්ටමක් සහිතව දිවි ගෙවීමට පවා ඔවුන්ට අහිමි කර තිබීම නිසාය.

        මෙවැනි තත්වයක් යටතේ ගෙවීන්ගේ අවනඩුව රජය විසින් සැළකිල්ලට නොගැනීම අභාග්‍යයකි. පෙර සඳහන් කළ රජයේ ආයතන සියල්ලම එක්වී සෑම වර්ෂයකම වී සහතික මිළි සකස් කරන අතර මේ වන විට 2024 මාස් කන්නය සඳහා වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට  වැය වන්නේ යැයි ඔවුන් ගණන් බලා ඇති වයදම රුපියල් අසූහතකි. මෙවැනි සංඛ්‍යා ලේඛන කුමන පදනමකින් සකස් කලේද යන්න බරපතල ගැටළුවකි. ගොවියාගේ ශ්‍රමය කම්කරු ශ්‍රමය ආදී කරුණු පමණක් නොව යන්ත්‍ර සූත්‍ර සඳහා ගෙවිය යුතු කුලිය පවා මේ සංඛ්‍යා ලේඛන තුළ එක්කෝ දකින්නට නැත. නැතිනම් අඩු අගයක් එකතු කර තිබේ. නැතිනම් රුපියල් අසූහතක් වැනි අඩු මුදලක් ඉදිරිපත් වන්නට නොහැකිය. ඔවුන් සෑම දිස්ත්‍රික්කයකම මේ වී මිළි ගණන් බැලූවා නම් අඩුම ගණනනේ රුපියල් 100 ක වත් නිෂ්පාදන වියදමක් ලබා ගන්නට බැරිව තිබෙන්නේ යම් බලපෑමක් උඩද යන්න කල්පනා කළ යුතුය. මිල නියාමනගොවිජන සභාව විසින් ගණනය කළ රුපියල් 116 ක මිළ අනුව එයට තව තුනෙන් එකක මිළක් එකතු කොට ලැබෙන 146 අගය වුවද ගොවියාට සාධාරණයක් ඉටු කරන්නේ නැත. මන්ද මාසයකට රුපියල් පහලොස්දාහක් ලබා ගෙන ජීවත් වීම ඔවුන්ට උගහට බැවිනි.පවුලේ නඩත්තුව ළමුන් ගේ ඉගැන්වීමේ වියදම බොහෙත් හේත් වලට යන වියදම ගමන් වියදම් මේ සියල්ල ජීවන බරට එකතු වේ. අනෙකුත් පාරිභෝගිකයා මෙන්ම ගොවියාද බදු ගෙවයි. ලුණු සිල්ලර මස් මාළු  බිත්තර පරිප්පු වැනි ආහාර ද්‍රව්‍යයන් ද විවිධාකාර උපකරණ විදුලි භාණ්ඩ වැනි දේට වෙළෙඳ පලේ වැඩි වන මිලට අනුව ලබා ගැනීමට ගොවියාට සිදු වේ.වතු කම්කරුවකු පවා දිනකට මේ වන විට රුපියල් 1200 ක දෛනික වැටුපක් ලබා ගන්නා අතර ගොවියා ඊටත් අන්ත දුගියෙකු බවට පත් කර තිබේ. ඒ නිසා ගොවිතැන් කිරීම කන්නයට සිදු කර අමතර රැකියා හෝ කුලී වැඩ කිරීමට ගොවියාට සිදු වේ. හේන් ගොවිතැන් කිරීමට සිදු වේ. වර්ෂය පුරාවටම ගොවිබිම් වල දුක් විඳීම නිසා ගොවීන් ගේ සෞඛ්‍ය තත්වය පිරීහීමට පත් වෙයි. වකුගඩු රෝග වලින් පීඩා විඳින දහසක් දෙන ඒ තත්වයට පත්ව තිබෙන්නේ කෘෂිකාර්මික පරිසරයේ තිබෙන අයහපත් තත්වයන් තුළය.

         මේ තත්වය වෙනස් කිරීමට නම් නිෂ්පාදන වියදම එක්කෝ අඩු කළ යුතුය. රසායකික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය කෘෂි රසායන අවම කර ගැනීම වැනි දේවල කළ හැති වුවද යන්ත්‍ර උපකරණ වල කුලිය.ශ්‍රමය ආදිය කිසිවක් අඩු කල හැකි දේ නොවේ. ඒ නිසා වාර්ෂිකව සියළුම දත්තයන් නිවැරදිව විශ්ලේෂණය කොට යම් ප්‍රතිශතයකින් සෑම විටම නිස්පාදන වියදමට සරිලන සහතික මිලක් ලබා දීම රජයේ පරම යුතුකමකි. අවසානයේ දළ ජාතික නිස්පදිතයට කෘෂිකර්මයේ දායකත්වය සියයට හයක මට්ටමේ සෑමදාම තබා ගෙන සිටින්නේ මෙවැනි දත්ත විශ්ලේෂණයක් නිරන්තරයෙන් සිදු නොවන බැවිනි. ඒ වෙනුට සේවා ආරථිකයේ වර්ධනය මුදල් සංසරණයේ වර්ධනය ආදිය හුවා දක්වා වෙළඳ පළ ආර්ථිකය ප්‍රවර්ධනය කිරිම නිරන්තරයෙන් සිදු වේ. ලංකාව වැන රටක සේවා සහ වෙළෙඳ පල ආර්ථිකය මෙන්ම නිෂ්පාදන ආර්ථිකයද කරට කර තිබිය යුතුය. එසේ නොමැති වූ විට ගොවියාද පාරිභොගිකයා යන දෙදෙනාම පීඩාවට පත් වේ. අතර මැදි වෙළන්දා තමන්ගේ ලාභය පමණක් සිතන බැවින් ගොවියා සහ පාරිභෝගිකයා දෙදෙනාම ආරක්ෂා කර ගැනීමට බරපතල වගකීමක් රජයට තිබේ. වර්තමාන රජයද එම වගකීම අතට ගන්නේ නැති බව පොනේ.වී වලට සහතික මිලක් ලබා දීමේ දී ගොවියා ගේ සංඛ්‍යා ලේඛන වෙනුවට නිළධාරින් ගේ සංඛ්‍යා ලේඛන විශ්වාස කරනුයේ ඒ නිසාය.වී රටේ තිබීය දී විදෙස් වලින් සහල ගෙන්වීමට උත්සාහ කරනුයේ ඒ නිසාය. මහජන ආණ්ඩුවක යුතුකම ඔවුන් පැහැර හැර තිබේ.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress