මරදාන දුම්රිය ඉඩම් පවරා ගැනීම වහා අත්හිටුවන ලෙස ඉල්ලීම
Posted on November 3rd, 2016
All Ceylon Railway Employees’ General Union
ගරු ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය,
නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා,
ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය,
සෙත්සිරිපාය, බත්තරමුල්ල.
මරදාන දුම්රිය ඉඩම් පවරා ගැනීම වහා අත්හිටුවන ලෙස ඉල්ලීම – CGR – 2016.11.03
දුම්රිය දෙපාර්තමේන්තුවේ කර්මාන්තශාලා කිහිපයක් හා ගොඩනැගිලි නඩත්තු අංශ පිහිටා ඇති මරදාන දුම්රිය භූමිය කිසිදු දුම්රිය බලධාරියකුගේ අවසරයකින් තොරව කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය විසින් මැනුම් කටයුතු සිදුකර ඇත.
දෙපාර්තමේන්තුවේ රාජකාරී අවශ්‍යතාවලට බාධාවන අයුරින් මෙම ඉඩම් පවරා ගැනීමට කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කිරීම බරපතල ප‍්‍රශ්ණයක් බවට පත්ව ඇත. කිහිප අවස්ථාවකම බලහත්කාරයෙන් මෙම ඉඩම් මැනීමට නාගරික සංවර්ධන අධිකාරීයට අයත් මිනුම්දෝරු මහතුන් පිරිසක් ගෙන ඇති උත්සාහයන් වැලක්වීමට එම භූමියේ සේවය කරන දුම්රිය සේවක පිරිසට හැකිවූ අතර දුම්රිය භූමියේ පිහිටි කර්මාන්තශාලවල හා ගොඩනැගිලි අංශ සේවකයින්ට එරෙහිව පැමිණිලි කොට මරදාන පොලීසියේ නිළධාරීන් වැඩබිමට කැඳවා ඇති අතර සාමාකාමී වැඩභූමියකට පොලීසිය කැඳවීම සේවක උද්ඝෝෂණයක් ඇතිවීමට හේතුවිය හැකි බවත් අවධාරණය කර සිටිමු.
දුම්රිය සේවය පවත්වාගෙන යාමට හා සංවර්ධනය කිරීමට අවශ්‍ය භූමිය අත්‍යාවශ්‍යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු වන අතර, දුම්රියේ කටයුතු වලට බාධා වන අයුරින් දේශපාලන බලය උපයෝගීකර දුම්රිය ඉඩම් පවරා ගෙන සිදුකරන කවර සංවර්ධනයක් වුවද රටේ ජනතාවට හෝ දුම්රිය සේවකයින්ට ප‍්‍රථීපල ලැබෙන්නක් නොවන බව පෙන්වා දෙමු.
පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරක්‍ෂක ලේකම් විසින් දේශපාලන බලය යොදා ගෙන පවරා ගත් මරදාන දුම්රිය ඉඩම්වල තිබූ ගොඩනැගිලි බිමට සමතලාකොට නොලේජ් පාක් තාක්‍ෂණ ගම්මානයක් ඇති කරන බවට ප‍්‍රකාශ කලත් එසේ හැදූ නොලේජ් පාක් එකක් නොවෙන බව පෙන්වා දෙන අතර පෞද්ගලික සමාගම් කිහිපයකට එම භූමිය ලබාදී දුම්රිය දෙපාර්තමේන්තු කටයුතු වලට බාධාවන අයුරින් කටයුතු කල බව අවධාරණය කර සිටිමු.
මෙම ඉඩම් මැනීම හා පවරාගැනීම පිටුපස, සොරකමක් හේතුවෙන් වැඩ තහනම් කරන ලද ඉහලම දුම්රිය පරිපාලන නිළධාරියෙකු සිටින බවත් විවිධ පෞද්ගලික ජාවාරම් කිරීමට ආණ්ඩුවේ අනුදැනුම සහිතව එක්තරා ජාවාරම් කල්ලියක් කටයුතු කරමින් සිටින බවත් දැන ගැනීමට ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවාවට බාධාවක් වන කිසිදු ජාවාරමකට ඉඩ නොදිය යුතු බවත්, එසේ කටයුතු කලහොත් ඊට එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට පිවිසීමට කටයුතු කරන බවත් එවැනි තත්වයකට දුම්රිය සේවකයින් පත් නොකොට දුම්රිය ඉඩම් පවරා ගැනීමේ කටයුතු නතර කරන ලෙසත් මෙම ජාවාරම් පිටුපස සිටින කල්ලි කණ්ඩායම් කවුද යන්න සොයා බැලීමට පියවර ගන්නා ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ස්තූතියි,
මෙයට විශ්වාසී,
එස්.පී. විතානගේ
සම කැඳවුම්කරු
සම්බන්ධීකරණය – 071-4953060