කොටින්ගෙන් බේරාගත් නැගෙනහිර පුදබිම් අන්තවාදී වගවළසුන්ගේ ආක්‍රමණයට හසු වෙයි උපන් බිමෙහිම අසරණ ජාතියක් ගැන නැගෙනහිරින් ඇසෙන කතාව
Posted on July 8th, 2017
තරංග රත්නවීර උපුටා ගැන්ම දිවයින
ඡායාරූප නිමල් දයාරත්න
අන්තවාදී ආක්‍රමණය ප්‍රචණ්‌ඩ වී අරිසිමලේ පුදබිමේ මුඩුක්‌කු නැගෙයි…
ආණ්‌ඩුවට අවුරුදු දෙකක් පිරෙන ජනවාරි 08 ත් බුදුපිළිම කඩා දැමේ…
බොරලු කපන්න කියලා පුරාණ ගල් කණු,
සෙල් ලිපි, සඳකඩ පහන ඩෝසර් කරයි…
උතුර, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක
පනාමුරේ තිලකවංශ හිමි.
කතාව ඇසෙන විට අපට අපි ගැන දුක සිතිණි. ඒ වැඩි කාලයක් නොගොස් අපිට උරුම රටේ කල්ලතෝනි ලෙස ජීවත්වීමට සිදු වන බව හැඟෙන නිසාය. නැගෙනහිර පළාතට ගිය විට මන්දබුද්ධික නොවන ඕනෑම කෙනෙකුට එය හොඳින් වැටහේ. එහෙත් සර්ව ආගමික පිරුවටය පොරවාගත් බලධාරීන් ඒ බව තේරුම් නොගැනීම ජාතියේ කරුමයයි.
ඉඩම් කොල්ලය විඳ දරාගත හැකිය. එහෙත් අපේ උරුමය තලා පෙළා කුඩු පට්‌ටම් කර ඇති අයුරු දකින විට පපු කැවුතු පිච්චෙන්නේය. බෞද්ධ සිද්ධස්‌ථාන, වෙහෙර විහාර ගොඩනැඟිලි අන්‍ය ආගමික ආක්‍රමණිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අයුරු දකින විට ගත සිත කෝපයෙන් වෙව්ලන්නේය. එහෙත් උපන් බිමේ අපි අසරණය. උතුර, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක, කුච්චවේලි ශාසනාරක්‍ෂක බලමණ්‌ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි අරිසිමලේ ආරණ්‍ය සේනාසන නායක ස්‌වාමීන් වහන්සේ පනාමුරේ තිලකවංශ හිමියන් පවසන කරුණුවලින් ජාතියේ නිවට නියාලුභාවය අපට හොඳින් අවබෝධ විය. දැන් අප උන්වහන්සේගේ හඬ වචන කරන්නේ සංවේදී ඔබගේ දැනගැනීම පිණිසය. මෙතැන් සිට පෙළගැසෙන්නේ උන්වහන්සේගේ කතාවය.
අතීතයේ ඉඳලම බෞද්ධයන්ට විවිධ හිරිහැර කෙරුණා. ඒක අපේ රටට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි, ලෝකයේ විසිරුණු සියලු බෞද්ධයන්ට මේ කෙණහිලිකම් උරුමයි. සෑම අවස්‌ථාවකම වැඩි බහුතරය ඉන්න පරිසරයක සුළුතරය යට කරගෙන ඉන්න ප්‍රවණතාවය වැඩියි. ලංකාව සිංහලයන්ට උරුම රට වුණාට උතුර, නැගෙනහිර පළාත්වල සුළුතරය වෙලා තියෙන්නෙ සිංහල බෞද්ධ මිනිස්‌සු. එහෙම පරිසරයක අපට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ අන්‍ය ආගමිකයන්ගේ කෙණෙහිලිකම් මැද. දැන් මම වැඩ වාසය කරන අරිසිමලේ අරණ්‍ය සේනාසනයට අයත් විශ්‍රාම ශාලාවක් ප්‍රදේශයේ මුස්‌ලිම් ජනතාව බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නවා. ඒ පූජා භූමියේ වැට මායිම් සකස් කරගන්න මැණුම් නියෝගයකුත් ලැබිලා තියෙනවා. එම භූමිය තුළ මහ දිසාපතිවරයාගේ නිසි අවසරය ඇතිව තමයි අපි එම ගොඩනැඟිල්ල ස්‌ථාපනය කළේ. ගොඩනැඟිල්ල ඉඳිකරන්න දායකත්වය ලබා දුන්නේ නුවර මහත්මයෙක්. පහුගිය අවුරුද්දෙ ඉඳලා මුස්‌ලිම් මිනිස්‌සු ඒ ගොඩනැඟිල්ල ආක්‍රමණය කරලා පදිංචි වෙලා ඉන්නවා. අදාළ සියලු ආයතනවලට මම ඒ බව දැනුම් දුන්නා. ඒත් ඒ ආක්‍රමණය සම්බන්ධයෙන් අදාළ කිසිදු ආයතනයක් ක්‍රියාත්මක වෙලා ඔවුන්ව පලවාහරින්න කටයුතු කළේ නෑ. තව මුස්‌ලිම් ජාතිකයෙක් ආරණ්‍ය සේනාසනයේ කුටි ගෙවලුත් අල්ලලා ඔප්පුවක් හදලා. පරීක්‍ෂණ කරගෙන යනකොට හොර ඔප්පුවක් කියලා තහවුරු වුණා. ඒත් කූඨ ලේඛන සකස් කළා කියලා නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ.
අරිසිමාලේ ආරණ්‍ය සේනාසනය මුහුද අයිනේ සුන්දර පරිසරයක පිහිටලා තියෙන පුදබිමක්. ඒ වගේම ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය සිද්ධස්‌ථානයක්. තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් කේශ ධාතූන් වහන්සේලා රැගෙන ගොඩ බැස්‌සේ අරිසිමලේ වෙරළට. වෙළෙඳ දෙබෑයන් වෙරළට ගොඩ බැස්‌සට පස්‌සෙ සම්බුද්ධ වන්දනාව කරන්න හාල් තිබිලා නෑ. වෙරළට ගොඩ බට වෙළෙඳ දෙබෑයන් සම්බුද්ධ වන්දනාව කරන්න සහල් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. පස්‌සෙ වෙරළේ තිබුණු වැලි කැට සහල් බවට පත් වෙලා. ඒ සහල් අරගෙන බත් පිසලා සම්බුද්ධ වන්දනාව කළා කියලා ජනප්‍රවාදයේ කියෑවෙන කතාව. අදටත් අරිසිමලේ වෙරළ පුරා විසිරිලා තියෙන්නෙ හාල් වැල්ලක්. ඒ අසිරිමත් වැල්ල ඉස්‌මත්තේ කඳු ගැටය මත තමයි ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නෙ. බණ, භාවනා කටයුතුවල යෙදෙන්න ශාන්ත පරිසරය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දවස් හතළිස් අටක් ගත වෙනකොට සම්බුද්ධත්වයෙන් පාරිශුද්ධත්වයට පත් වෙන්නෙ මේ අරිසිමලේ වෙරෙළ. අතීතයේ ඉඳලම ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා මේ ස්‌ථානයේ වැඩ වාසය කරමින් බණ, භාවනා කටයුතුවල යෙදිලා තියෙනවා. නටබුන් බවට විසිරිලා තියෙන කුටි ගෙවල්, චෛත්‍යය, දාගැබ්, පෝය ගෙවල්, සඳකඩ පහණ, ගල් කණු විශාල පාදම කොටස් මතු වෙලා සනාථ වෙන්නෙ මේ ස්‌ථානයේ විශාල ආරාම සංකීර්ණයක් තිබුණු බවයි. ඒ නටබුන් අක්‌කර පන්සියකට වැඩි භූමි භාගයක විසිරිලා තියෙනවා.
1980 වර්ෂයේ හිටපු කර්මාන්ත අමාත්‍ය සිරිල් මැතිව් මහත්තයාගේ මගපෙන්වීම යටතේ උතුර, නැගෙනහිර බෞද්ධ නටබුන් සොයාගෙන, ඒ ස්‌ථාන ආරක්‍ෂාකරගැනීම සඳහා පිහිටුවාගත් රාජ්‍ය කර්මාන්ත බෞද්ධ සංගමය මගින් ගොඩනැගුණු ප්‍රධාන ආගමික සිද්ධස්‌ථානය අරිසිමලේ ආරණ්‍ය සේනාසනය. නින්දානේ කාශ්‍යප ස්‌වාමීන් වහන්සේ තමයි ආරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ ආරම්භක විහාරාධිපති හිමියන් බවට වුණේ. උන්වහන්සේට එම නායක පදවිය සන්නස් පත්‍රයකින් පිළිගන්වලා තිබුණා. මගෙත් ගුරු හාමුදුරුවො උන්වහන්සේ. 1980 අවුරුද්දේ රාජ්‍ය කර්මාන්ත බෞද්ධ සංගමය මගින් උතුර, නැගෙනහිර බෞද්ධ සිද්ධාස්‌ථාන සීයක් ප්‍රතිසංස්‌කරණය කරලා දකුණේ ස්‌වාමීන් වහන්සේලාට සන්නස් පත්‍ර මගින් භාරදුන්නා. එවැනි ආගමික පුනරුදයක් ඇති වෙනකොට තමයි 1983 අවුරුද්දේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී කලබල පටන් ගත්තේ. මේ ප්‍රදේශවල හිටිය දෙමළ, මුස්‌ලිම් මිනිස්‌සු තොරතුරු සපයමින් එල්.ටී.ටී.ඊ.යට පක්‌ෂපාතීව වැඩ කරගෙන ගියා. ඒ අනුව මේ ප්‍රදේශ එල්.ටී.ටී.ඊ. ග්‍රහණයට නතු කරගන්න පහසු වුණා. මුහුදු මාර්ග ඔස්‌සේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට ඇවිත් ‘සාදු මහත්තයා මෙතැන ඉන්න එපා. අපි නම් කරදරයක් කරන්නෙ නෑ. ඊළඟට එන ටීම් එක මොනව කරයිද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා දැම්ම මෙතැනින් පිටත් වෙන්න..’ කියලා නායක හාමුදුරුවන් අතට පතොරම් කිහිපයකුත් දීලා ගිහින් තිබුණා. ඒ වේලාවේම නායක හාමුදුරුවො ඒ බව හමුදාවට දැනුම් දීලා තිබුණා.
‘ඔය ටීම් එකම තමයි ඊළඟට එන්නෙත්. ඒ නිසා හාමුදුරුවනේ දැන්ම ඔතනින් ඉවත් වෙන්න…’ කියලා හමුදා නිලධාරීන් නායක හාමුදුරුවන්ට කියලා තිබුණා. ඒ අනුව නායක ස්‌වාමීන් වහන්සේ ඇතුළුව සෙසු හිමිවරු දකුණු පළාතට වැඩම කරලා තිබුණා. මේ ප්‍රදේශ එල්.ටී.ටි.ඊ.ය යටතට පත් වුණාට පස්‌සෙ මුහුද අයිනේ පිහිටි අරිසිමලේ ආරණ්‍ය සේනාසනය මුහුදු කොටි මධ්‍යස්‌ථානයක් ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා. සංඝයා වාස, බුදු පිළිම කඩා බිඳ දාලා විනාශ කරලා තිබුණා.
යුද ගැටුම් අහවරවීමත් එක්‌ක නැවත මේ ප්‍රදේශය ආරක්‍ෂක හමුදාව යටතට පත් වුණා. 2009 අවුරුද්දේ අවසාන භාගයේදී මම අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට වැඩම කළා. එතකොට එම ස්‌ථානයේ තිබුණේ නාවික හමුදා කඳවුරක්. මුලින්ම අපි නතර වෙලා හිටියේ ඛනිජ වැලි සංස්‌ථාවේ. මුලදි මේ ප්‍රදේශයට එනකොට අවට මුස්‌ලිම් මිනිස්‌සු අපි දිහා බැලුවේ හරි අමුතු විදිහට. පස්‌සෙ මම නාවික හමුදාපතිවරයා මුණගැහිලා ආරණ්‍ය සේනාසනයේ අයිතිය ලිතව ඉදිරිපත් කළාට පස්‌සෙ නාවික හමුදා කඳවුර පහළට අරගෙන සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් විදිහට පරිසරය නිදහස් කළා. ඊට පස්‌සෙ නාවික හමුදාවේ දරුවන්, ඛනිජ වැලි සංස්‌ථාවේ කිහිපදෙනෙක්‌ගේ උදව් උපකාර ඇතිව මැටියෙන් කුටියක් හදාගෙන මම මෙතැන වැඩ වාසය කරන්න පටන් ගත්තා. දවසටම දානය ලැබුණේ එක වේලයි. ඒකත් දුන්නේ නාවික හමුදා කඳවුරෙන්.
මම මේ ස්‌ථානයට ඇවිත් වැඩ වාසය කිරීමත් එක්‌ක අරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා අතර අරිසිමලේ අරණ්‍ය සේනාසනය ප්‍රසිද්ධ වුණා. ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේලා වරින්, වර මේ සෙනසුනට වැඩම කරන්න පටන් ගත්තා. ටිකෙන්, ටික දායක පිරිස වැඩි වෙලා මේ ස්‌ථානය දියුණු වෙන්න පටන් ගත්තා. ඒ එක්‌කම මුස්‌ලිම් මිනිස්‌සු ආරණ්‍ය සේනාසනයට අයත් භූමිය පුරාවිද්‍යා චෛත්‍ය පැත්තෙන් අල්ලගෙන ඉහළට එන්න පටන් ගත්තා. මම මේ ආරණ්‍ය සේනාසනයට වැඩම කරන්න ඉස්‌සර වෙලා ඉඳලා බොරළු කපන්න කියලා මේ භූමියේ අක්‌කර අටක විතර පුරාවිද්‍යා නටබුන් ප්‍රදේශයක ගල් කණු පෙරළලා, සෙල් ලිපි, සඳකඩ පහණ විනාශ කරලා තිබුණා. එතැනින් නතර වුණෙත් නෑ. සංඝයා වහන්සේලා වැඩ වාසය කරන කුටි ගෙවලුත් පෙරළගෙන යන තරමට අන්තවාදී ආක්‍රමණය ප්‍රචණ්‌ඩ වුණා. ආරණ්‍ය සේනාසන භූමියේ පුංචි, පුංචි පැල්පත් හදාගෙන මිනිස්‌සු පදිංචි වුණා. පස්‌සෙ මම බණ භාවනා කටයුතුවලින් මඳකට ඈත් වෙලා ඉඩම් මංකොල්ලය ගැන හොයා බැලුවා. ඛනිජ වැලි සංස්‌ථාවේ බෞද්ධ සංගමයේ දායක මහත්වරුත් ඒ කටයුතු සාර්ථක කරගන්න ගොඩක් උදව් උපකාර කළා.
හොයාගෙන යනකොට 1980 අවුරුද්දේ සිරිල් මහත්තයාගේ කාලේ සකස් කරපු ලිපි ගොනු ටිකක් මට ලැබුණා. ඒ ලිපි ගොනුවල අරිසිමලේ ආරණ්‍යය සේනාසනය ගැන වගේම මේ ප්‍රදේශයේ අනිකුත් වෙහෙර විහාර පිහිටලා තියෙන තැන්වල විස්‌තර සඳහන් වෙලා තිබුණා. පස්‌සෙ මම ආරක්‍ෂක අංශවල උදව් ඇතිව ඒ ස්‌ථාන ගැන සොයා බලන්න ගියා. අපි ඒ තැන්වලට ගිය විට අපිට දකින්න ලැබුණේ කුඩුපට්‌ටම් කර දාපු විශාල බුදුපිළිම. චෛත්‍යය හාරලා. බෝධීන් වහන්සේලා කපා දලා. ඒ ඉඩම්වල අන්‍ය ආගමිකයන් පදිංචි වෙලා. බණ භාවනා කරන්නත් භූමියක් තියෙන්න එපෑ… ඒ වගේම අපේ සිංහල අම්මලාගේ දරුවො ලේ වගුරමින් මේ භූමිය නිදහස් කර ගත්තේ අන්තවාදයක් ගොඩනගන්න නෙමෙයි… ඒ හැම දෙයක් ගැනම හිතලා අන්තවාදීන්ගෙන් බෞද්ධ උරුමය බේරාගැනීම උදෙසා මම පෙරමුණ ගත්තා. මුලින්ම අදාළ ආයතන දැනුවත් කරලා බෞද්ධ ස්‌ථාන ගැන ගවේෂණය කරන්න ලිත අවසරයක් ඉල්ලුවා. එම ආයතනවලින් ලිතව මට අවසරය දුන්නා. ඒ අනුව නාග ලෙන, බඹරගල, යාංඔය, ඈතානැගි කන්ද, මිහිඳු ලෙන වගේ බෞද්ධ වෙහෙර, විහාර තිබුණු ස්‌ථාන රැසක් හඳුනාගෙන නැවත ප්‍රතිසංස්‌කරණය කරලා සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් විදිහට පරිසරය සකස් කළා. ඒත් මේ වන විට ඒ ස්‌ථානවලට තියෙන ප්‍රධාන ගැටලුව ආරණ්‍ය සංචිත ඉඩම් අන්‍ය ආගමිකයන් වේගයෙන් ආක්‍රමණය කරමින් තිබෙන ඒකයි.
කෝකිලායි කලපුවෙන් වටවෙච්ච තෙන්නමරච්චි සංඛමලේ පුරාණ රජමහා විහාරස්‌ථානයේ කන්ද මුදුනේ පුරාවිද්‍යා චෛත්‍යය ආසන්නයේ පිහිටි බුදුහාමුදුරුවන්ගේ රුව සහිත ගල් කැටයම් මීටර් අටසියක් විතර දුරින් තියෙන කෝවිලක බිත්තිවලට තියලා බැඳලා. දෙමළ සන්ධානයේ නායකයන් රජයට බල කරනවා එතැන පන්සලක් හදන්න දෙන්න එපා කියලා. පුරාණ බෞද්ධ නටබුන් තියෙන එම ස්‌ථානයේ මේ මොහොත වෙනකොටත් කුටි සෙනසුනක් හදන්න ඉඩක් නෑ. ගියොත් දෙමළ අන්තවාදීන් පහරදෙනවා. පහුගිය කාලේ යාංඔය රජමහා විහාරයේ චෛත්‍යය සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා විනාශ කරලා තිබුණා. ඒ විනාශය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට, මහ දිසාපතිවරුන්ට දැනුම් දුන්නා. ඒත් අපරාධය කරපු කිසිම කෙනෙකුට නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. පහුගිය ජනවාරි 08 වැනිදා බුදුපිළිම හත, අටක් කඩා බිඳ දාලා තිබුණා. තවත් බුදුපිළිමවලට කළු තෙල් ගහලා තිබුණා. මේ අපරාධය ගැන හොයන්න හමුදාව, පොලිසිය දෙකම දැම්මා. ඒත් අපරාධ කරපු කිසිම කෙනෙක්‌ව තවම නීතිය ඉදිරියට ගෙනත් නෑ. ස්‌වාමීන් වහන්සේනමක් ගල්ලෙනක වවුල් බෙඩි ටිකක් සුද්ධ කළත් ඊළඟ දවසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නඩු දානවා. දැන් අලුත් නීති පනවලා මේ ප්‍රදේශවල පාරවල් අයින්වල බුදු කුටි හදන්න දෙන්නේ නෑ. අලුතින් පන්සල් හදන්න දෙන්නෙ නෑ. තියෙන බෞද්ධ සිද්ධස්‌ථාන ඉවත් කරගන්න කියනවා. බෞද්ධ සිද්ධාස්‌ථාන සංඝයා වහන්සේලාට පරිහරණය කරන්න ඉඩක් නෑ. හමුදා කඳවුරුවල බුදුපිළිම පාරට පේනවට තල් වැටවල් ගහලා වහලා. සමහර ආරණ්‍ය සේනාසනවල සංඝයා වහන්සේලාට දන් ගෙනයැම තහනම් කරලා. ඒක තමයි උතුර, නැගෙනහිර සංහිඳියාව. දකුණේ අපි කෝවිලකට, පල්ලියකට ගිහිල්ලා නිකමට අගෞරව කරනවද… සිංහල මිනිස්‌සු එහෙම කරන්නෙ නෑ. ඒත් මේ මිනිස්‌සු බලන්නෙ දවසින්, දවස බෞද්ධ වෙහෙර, විහාර බුදු පිළිම විනාශ කරන්න.
මුස්‌ලිම්, දෙමළ, සිංහල ඕනෑම ගම්මානයක බෞද්ධ නටබුqන් තියෙනවා නම් ඒවා බෞද්ධ ආගමට අයිති උරුමය. ඒවා අද ඊයේ දේවල් නෙමෙයි. රජ කාලේ ඉඳලා පැවත එන උරුමයන්. ඒත් දැන් අපේ රටේ බෞද්ධ උරුමය ආරක්‍ෂා කරන්න පණ ඇති නායකයෙක් නෑ. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ ගැටලු ගැන හොයා බලන්නෙ නෑ. ආණ්‌ඩුකාරවරයා මගෙන් අහනවා හාමුදුරුවනේ සිංහල බෞද්ධ මිනිස්‌සු නැති පළාතකට පන්සල් මොකදට කියලා. අපි සිංහල බෞද්ධයන් ගැන කතා කරනකොට අන්තවාදීන් කියනවා. බුදුපිළිමයක් හදන්න ගියොත් ආගම්වාදීන් කියනවා.
උතුර, නැගෙනහිර බෞද්ධ සිද්ධස්‌ථානවලට අයත් ඉඩම් නිරවුල් කරගන්න පහුගිය රජය කාලේ අට වතාවක් විතර මම උත්සාහ කළා. පොලිසියේ දෙතුන්සියක් දාගෙන අරිසිමාලේ ආරණ්‍යය සේනාසනයට අයත් රක්‍ෂිත භූමිය මැනුම් කටයුතු කරන්න පටන් ගත්තා. ඒ අවස්‌ථාවේත් තුන්හාරසීයක මුස්‌ලිම් සේනාවක් කැලේ කඩාගෙන ඇවිත් පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. මැනුම් කටයුතු නතර වුණා. වර්තමාන ආණ්‌ඩුව පත් වුණාට පස්‌සෙ මේ ප්‍රදේශවල බෞද්ධ පූජා භූමි සියල්ලක්‌ම වගේ සීග්‍රයෙන් අන්‍ය ආගමිකයන් ආක්‍රමණය කරගෙන යන්න පටන් ගත්තා. පහුගිය දවස්‌වල දේශපාලන බලපුළුවන්කාරම් යටතේ පූජා භූමි ඉඩම්, පුරාවිද්‍යා රක්‌ෂිත, වනසංරක්‍ෂණ රක්‍ෂිතවලට බලපත්‍ර හත්සියයක් හදලා තිබුණා. එක දිගට කෝවිල්, පල්ලි හැදෙනවා. පුරාවිද්‍යා නටබුන් ගොඩවල් ඩෝසර් කරලා හෝටල් හදනවා. ඒවට කිසිම බාධාවක් නෑ. බුදුපිළිමයක්, සෙනසුන් හදන්න ගියොත් නීතියෙන් ඉඩක් නෑ. නීතියෙන් සරණක් ලැබුණත් අන්තවාදීන් අකුල් හෙළනවා.
අපි මේ ප්‍රදේශවල නොහිටින්න මේ වෙනකොට බෞද්ධ සිද්ධස්‌ථාන කිසිවක් නෑ. අදටත් උතුර, නැගෙනහිර ප්‍රදේශවල කිසිම විහාරස්‌ථානයකට ඔප්පු තිරප්පු නෑ. උරුමය පෙන්වන්න තියෙන එකම සාක්‍ෂි ගල් කණු. නටබුන් කොටස් විතරයි. ඒවා පෙන්ගෙන ඉඳලා වැඩක් නෑ. වටෙන්ම අල්ලගෙන ඇවිත් අපිව පර්චස් ගානකට සීමා කරනවා. දැන් අපි වෙරදරන්නේ මේ පූජා භූමි ටික නිරවුල් කරගෙන, මැනුම් කටයුතු කරලා සිංහල බෞද්ධ පවුල් හත, අටක් පදිංචි කරවන්න. එහෙම කළොත් මේ සංඝයා වහන්සේලාට කැඳ ටිකක් හරි ලැබෙයි. බුදුපිළිමයක් ළඟට ඇවිත් මලක්, පහනක් පූජා කරයි. අපිට ලෙඩක් දුකක් හැදුණොත් ඇවිත් උපස්‌ථාන කරයි. එහෙම නොවෙන්න මේ හමුදා කඳවුරු ටික ඉවත් කරපු දවසකට අපිටත් මේවා අතහැරලා යන්න වෙනවා.
අතීත රජවරු නිර්මාණය කරපු ශාසනික දේවල් තමයි අද නටබුන් වෙලා ඉතිරි වෙලා තියෙන්නෙ. ඒත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්‌පර්ශය ලද නාගදීප පුද බිමේ බුදුපිළිමයක් හදන්න බැරි තරමට අපි නිවට ජාතියක් බවට පත් වෙලා. මේ තත්ත්වය ඉදිරියට ක්‍රියාත්මක වුණොත් අපිට බෞද්ධ උරුමය කෙසේ වෙතත් රටක් ඉතිරි වෙන්නෙත් නෑ. අපිට මේ පළාත්වල ඉන්නත් බැරිව යනවා. දැනටමත් මට මරණ තර්ජන තියෙනවා. සමහර ආරණ්‍යය සේනාසනවලට වැඩම කරන්නෙ පොලිස් ආරක්‍ෂාව යටතේ. පහුගිය කාලේ මම වැඩ වාසය කරන කුටිය පින්තූර ගන්න කිහිපදෙනෙක් විටින්, විට ආවා. වැඩි කාලයක් යන්න ඉස්‌සර වෙලා අතේ ගෙනියන බෑග් මල්ලට මොනවහරි දාලා හරි මාව අත්අඩංගුවට ගන්නවා. නැති නම් අපවත් කරනවා. ඒකට මම බය නෑ. ශාසනය ආරක්‍ෂා කරගැනීම උදෙසා වෙර වීරිය දරන අපිට සෑම මොහොතකම තුනුරුවන්ගේ සරණ තියෙනවා. අන්‍ය ආගමිකයන්ට හිරිහැර කරන්න, ඔවුන්ගේ ජීවිතවලට බාධා කරන්න අපට අවශ්‍ය නෑ. කාගෙවත් දේපළක් කොල්ලකන්න ඕනෑ නෑ. අපිට ඕන බුද්ධ ශාසනයේ නාමයෙන් අවිහිංසාවාදී ජාතියක් විදිහට බෞද්ධ උරුමය ආරක්‍ෂා කරගන්න විතරයි. බුද්ධ ශාසනය, ජාතිය ආරක්‍ෂා කරන්නේ යම් පාලකයෙක්‌ද ඒ පුද්ගලයාට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු සංඝයා වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ ඇරෙන්න ආරණ්‍යවාසී භික්‍ෂූන් වහන්සේ නමක් විදිහට අපි කිසිම නායකයෙක්, පක්‍ෂයක් පත් කරන්න ඡන්ද පාවිච්චි කරන්නෙ නෑ. අර පුද්ගලයා, මේ පුද්ගලයා හොඳයි කියලා සම්මත කරන්නෙ නෑ. ඒක අපේ ප්‍රතිපත්තියක්.
අද සිංහල බෞද්ධයන්ට නායකයෙක් නෑ. බුදුරජාණන් වහන්සේ ශාස්‌තෘවරයා විදිහට හිටියට මේ රටේ සංඝයා වහන්සේලාට නායකයෙක් නෑ. සංඝයා වහන්සේලා පක්‍ෂ පාටවලට, නිකායවලට බෙදිලා. පන්සල් අතර ප්‍රශ්න. බලමණ්‌ඩල අතර ප්‍රශ්න. අපේ මිනිස්‌සු දෙපැත්තට ඇදෙනවා. රට ජාතිය වෙනුවෙන් කතා කරන සංඝයා වහන්සේලා උපක්‍රමශීලීව අපවත් කරනවා. දෙමළ මුස්‌ලිම් මිනිස්‌සු රට ටිකෙන්, ටික අල්ලනවා. හරි පාලකයෙක් නොහිටින්න නැගෙනහිර පළාත මුස්‌ලිම් ජනතාව, උතුර දෙමළ ජනතාව අල්ල ගන්නවා. ඒත් දැන් අපිට වෙලා තියෙන්නෙ ඇටිකෙහහෙල් කෑව මුක්‌කුන්ද වගේ විරිත්ත, විරිත්ත ඉන්න..’ අරිසිමලේ නායක හාමුදුරුවන්ගේ දේශනය අවසානය. මේ උන්වහන්සේගේ කතාවෙන් අපට තේරුම් ගිය යථාර්ථයයි.
අවිහිංසාවාදී ජාතියක් ලෙස ඉතිහාසය පුරාවට බෞද්ධ ජනතාව ආගම වෙනුවෙන් අරගලවල පැටලී නැත. එහෙත් සිදුවෙමින් තිබෙන අන්‍ය ආගමික ආක්‍රමණය සමඟ බෞද්ධ ශාසනය ආරක්‍ෂා කරගැනීම උදෙසා විවිධ සංවිධාන බිහිවෙමින් තිබේ. තවදුරටත් ගෝත්‍රික අන්තවාදීන්ගේ ආක්‍රමණය ඉදිරියේ බලධාරීන් අඳ, ගොළු බිහිරන් සේ සිටී නම් බෞද්ධ ශාසනයේ ආරක්‍ෂාව සඳහා බලවේග, බලමුළු සංවිධානගත වීම නතර කළ නොහැකිය. අහිංසක අංගුලිමාල වූවා සේ පීඩාවට පත්වෙමින් සිටින බෞද්ධයන් ද අංගුලිමාලලා වීමට ඉඩ තිබේ. සිදු විය යුත්තේ පක්‍ෂ පාට, සංඝ බේද පසෙකට තබා ගිහි පැවිදි දෙපාර්ශවයම සිහිබුද්ධියෙන් මේ උද්ගතව ඇති ආගමික ගැටලුව විසඳීම සඳහා එක පොදියට එකතු වීම පමණි.
July 9th, 2017 at 4:17 pm
බිත්තියක් ඉරිතැලී තීන්ත පොතුපිටින් ගැලවී ගියවිට සුදු තීන්ත ගා යථා තත්වයට ගතහැකි ද ? ඉරිතැලීමට සැබැ හේතු සොයාගෙන , වතුර කාන්දු වලකා, ශක්තිමත් කොට, ෆිලර් ගා වැලි කරදහි වලින් කපා ඉන්පසු අලුතින් තීන්ත ගෑ යුතුය. එසේ නැතිව පරණ බාස් උන්නැහේලාට බනිමින් නිකම්ම නිකම් සිටියාටවත්, ඕකේ ඇති වැරැද්දක් නෑ , බලන එකාගේ ඇස්වල දෝසයක් කියා සුදුහුනු ගා වසා දැමීම හරිද ?