කේ පොයින්ට් නවකතාව
Posted on November 8th, 2018
වෛද්‍ය රුවන් එම් ජයතුංග
එළියකන්ද වධකාගාරයේ සිටි රැඳවියෙකු වූ අජිත් පැරකුම් ජයසිංහගේ කේ පොයින්ට් නවකතාව පදනම් වන්නේ සත්‍ය අත්දැකීම් මතය.එය මිනිස් අත්දැකීම් වලින් ඔබ්බට ගිය කතාවකි. නට්සීන් ගේ වධ කඳවුරු , ස්ටාලින් ගේ ගුලාග් වධ කඳවුරු, පොල් පොට් ගේ Tuol Sleng මරණයේ ගොවි බිම් ආශ්‍රිත වධ කඳවුරු, ඇමරිකානු හමුදාව විසින් පවත්වාගෙන ගිය Abu Ghraib සහ , ග්වන්තනමෝ බේ වධ කඳවුරු ආදිය පිලිබඳව සත්‍ය තොරතුරු කියවා සිටින පාඨකයන් වූවද කේ පොයින්ට් නවකතාව කියවීමේදී තිගැස්සීමට පත්වෙති.
කේ පොයින්ට් නොහොත් එළියකන්ද වධකාගාරය පිලිබඳ කතාව දේශීය කතාවකි. එය නට්සීන් හෝ සෝවියට් එන් .කේ. වී. ඩී. හෝ කෙමරූජ්වරු හෝ ඇමරිකානු හමුදාවේ ලින්ඩී රානා ඉඞ්ලන්ඩ් ඇතුළු පිරිස විසින් දියත් කල වධයන් වලට වඩා වෙනස් මගක කිය කතාවකි. මේ කතාව සිදු වන්නේ අපගේ භූමිය මතය. දේශීය වධකයන් බොහෝ විට යොදා ගන්නේ දේශීය වධක ක්‍රමයන් වෙති. මේ කතාව සිදු වන්නේ අපගේම ජීවිත කාලය තුලදීය.
එළියකන්ද වධකාගාරයේ සත්‍ය මෙන්ම බිහිසුණු අත්දැකීම් ලබන රචක හෙවත් කතුවරයා මේ කෘතිය හරහා ඔහුගේ ආත්මය නිරාවරණය කරයි. එහි බොරු වීරකම් හෝ පුරාජේරු නැත. එය මරණය අද්දරට තල්ලු කරන ලද මිනිසෙකුගේ අසරණ විළාපයකි.
1988-89 සමයේදී ජවිපෙ කැරලිකරුවන් රිසි සේ තම විරුද්ධවාදීන් ද්‍රෝහියන් ලෙස ලේබල් කොට මරා දමති. ඔවුන් සමහරක් විට කිරි දරුවන් පවා මරා දමන්නට නොපැකිලෙති. මේ භීෂණයට රාජ්‍ය හමුදාවෝ භීෂණයෙන්ම ප්‍රති උත්තර දෙති. එහිදී අඩු අධ්‍යාපනයක් ලත් ග්‍රාමීය සොල්දාදුවන් නිලධාරීන් ගේ මෙහෙයවීම මත වධකයන් බවට පත් වෙති. ඔවුන් ඉතා නිර්දය ලෙස මෙන්ම පර පීඩක කාමයෙන් අත් අඩංගුවට ගත් කැරලිකරුවන්ට වධ බන්දනය කරති.
මින්ස්ක් සහ කියෙව් නගර වල යුදෙව්වන් සුවිසල් වලවල් අසල පෙළ ගස්වා මරා දැමූ වාෆන් එස් එස් භටයෝ මේ ඝාතන නිසා කම්පනයට පත් වූහ. මේ නිසා හිට්ලර් මෙන්ම අයික්මාන් හට යුදෙව්වන් මරා දැමීම සඳහා වඩාත් සුමුදු මෙන්ම මානුෂීය ක්‍රමයකට යන්නට සිදු වූ අතර ඔවුන් ඒ සඳහා ගෑස් කාමර විකල්පය ඉදිරිපත් කළහ. එහෙත් එළියකන්ද වධකාගාරයේ වධකයන් තුල මේ අන්දමට වත් මානුෂික භාවයක් තිබුනේ නැත. ඔවුන් වඩ වඩාත් නිර්මාණශීලී වෙමින් විවිධාකාරයේ වධක ක්‍රම බිහි කලහ.
යුදෙව් සහ ජිප්සි ළමුන් මරා දැමීමට පෙර නට්සි වෛද්‍ය ජෝස්ෆ් මැංගලී ළමුන් හට ලොලිපොප් දුන්නේය. එහෙත් ජවිපෙ කැරලිකරුවන් විසින් කිරි බොන දරුවෙකු අමු අමුවේ වෙඩි තබා ඝාතනය කල අයුරු රචක විසින් හෙළි කරයි. තවද වධ කඳවුරක් තුලදී වධකයන් සහ වින්දිතයන් අතර ඇති වන අසාමාන්‍ය බල තුලනය මෙන්ම අති පීඩාකාරී පරිසරයක ජීවත් වීමේදී මිනිසුන් ගේ අසාමාන්‍ය චර්‍යාවන් ද රචක විසින් පෙන්වා දෙනු ලබයි. ඒ අතර යම් යම් මානුෂික ගනු දෙනුද ඔහු සඳහන් කරයි. භීම සමයකදී මිනිස් මනස දෝලනය වන ආකාරය ඔහු හෙලිදරව් කරයි එම නිසා මනෝ විද්වතුන්ට මේ පොත අාශ්‍රයෙන් මානව චර්‍යාව පිලිබඳව බොහෝ දේවල් අධ්‍යනය කල හැකිය. එබැවින් කේ පොයින්ට් පොත ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීම සුදුසුය.
කේ පොයින්ට් නවකතාව හුදු නවකතාවක් ලෙස නොව සත්‍ය සිදුවීම් පිලිබඳ ආත්ම කථනයක් ලෙස එළි දැක්වූයේ නම් එය වඩාත් යෝග්‍ය බව මම සිතමි. වධකයන් මෙන්ම වින්දිතයන් ගේ නියම නම් ගම් සහිතව මෙකී සත්‍ය සිදුවීම් වැල රචනා කලේ නම් මෙම පොතට වඩාත් වැඩි වටිනාකමක් මෙන්ම අප ජීවත් වූ ඒ අවලස්සන කාලය පිලිබඳව සාක්‍ෂාත්කරයක් වන්නටත් ඉඩ තිබුණි.